ඉදිරිදර්ශන

9/11 ප්‍රහාරයේ සිට 20 වසරක් සහ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"

[මෙය 20 years since 9/11 and the “war on terror”යන මැයෙන් 2021 සැප්තැම්බර් 10 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි]

2001 සැප්තැම්බර් 11 දින, පැහැරගත් ගුවන් යානා දෙකක් නිව් යෝර්ක් නගරයේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයටත්, එකක් පෙන්ටගනයටත්, හතරවැන්න, කොල්ලකරුවන්ගෙන් යානයේ පාලනය ලබා ගැනීමට එහි මගීන් සටන් කිරීමෙන් පසුව පෙන්සිල්වේනියාවේ කුඹුරක් වෙතටත් පතිත කිරීමෙන් සිදු වූ බිහිසුනු ප්‍රහාරයට අදට (11) වසර 20 ක් සපිරේ. සමස්තයක් වශයෙන් ගත් කල, 3,000 කට ආසන්න පිරිසක් මිය ගිය අතර, සිවිල් යුද්ධයෙන් පසු ඇමරිකානු භූමියේ එක් දිනකදී සිදු වූ වැඩිම රුදුරු මරන සංඛ්‍යාව මෙයයි.

යුනයිටඩ් එයාර්ලයින්ස් 175 ගුවන් යානය ලෝක වෙලඳ මධ්‍යස්ථානයේ දකුනු කුලුන හා ගැටෙමින් (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්)

එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ සහ වසර 20 ක සමස්ත “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ” මහා පරාජයෙන් පසු ත්‍රස්තවාදය යලි හිස එසවීමක ඉඩකඩ පිලිඹඳ මාධ්‍ය අටුවාකරුවන් සමපේක්ෂනයෙ හි යෙදෙන අතරේ නැවත වරක්, 9/11 සිදු වූ බිහිසුනු අපරාධය හා ඛේදවාචකයේ වේදනාබර පින්තූර යොදාගෙන ජනමාධ්‍ය විසින් එක්සත් ජනපද සහ ලෝක ජනතාවට බැට දෙමින් සිටියි.

“සියල්ල වෙනස් කල” දිනයක් ලෙස අපට පුන පුනා කියනු ලබන 9/11 සිදුවීම් සම්බන්ධයෙන් අසාමාන්‍යම කරුන වන්නේ, ඒවා සිදු වූයේ කෙසේද යන්න ගැන නොදන්නා හා අපැහැදිලි දේ කොපමනද යන්නයි.

9/11 යනු ඇමරිකානු බුද්ධි අංශ වල “පරිකල්පනයේ අසාර්ථකත්වයේ” ප්‍රතිඵලයක් ලෙස කියවෙන ආන්ඩුවේ ප්‍රකාශය, ප්‍රතිවිරෝධතා, මගහැරයාම් සහ වසං කිරීම් තුලින් පිටකරගත් එකක් බව හඳුනාගැනීම සඳහා යමෙකු කුමන්ත්‍රන න්‍යායධරයෙකු වීමට අවශ්‍ය වන්නේ හෝ කුලුනු යුගලයෙහි පුපුරන ද්‍රව්‍ය අටවා තිබෙන්නට ඇතයි විශ්වාස කල යුතු වන්නේ නැත.

රහසිගතව තබා ගැනීම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු විසින් අසාමාන්‍ය දුරකට ඉඩසලසා තිබූ තිබූ සෞදි රාජාන්ඩුවේ බහුවිධ සම්බන්ධතාවලට අදාල තොරතුරු හෙලිදරව් කිරීම සඳහා දිවි ගලවා ගත් දහස් ගනනක් සහ 9/11 හි විපතට පත් වූවන්ගේ පවුල් දහස් ගනනක් විසින් උසාවියේදී කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සංවත්සරය ආසන්නයේ දී විධායක නියෝගයක් නිකුත් කලේය. “එම ප්‍රහාර ගැන තම අන්ඩුව දන්නා දේ පිලිබඳ වඩාත් සම්පූර්න චිත්‍රයක් ලබා ගැනීමේ අයිතිය ඇමරිකානු ජනතාවට හිමි වේ” යනුවෙන් බයිඩන් පැවසීය. නියෝගය විසින් “නොසැඟවූ සමාලෝචනයක්” ඉල්ලා සිටියද, එය “ජාතික ආරක්‍ෂාව උදෙසා” තොරතුරු රහසිගතව තබා ගැනීමට අධිකරන දෙපාර්තමේන්තුවට, සීඅයිඒ, එෆ්බීඅයි සහ අනෙකුත් ආයතන වලට අවකාශ පවතියි.

හොඳින් දන්නා පරිදි, 1980 ගනන් වල ඇෆ්ගනිස්ථානයේ සිදු වූ කුලීකාර යුද්ධයේදී සීඅයිඒ සංවිධානයේ හිටපු සගයා වූ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මෙන්ම ගුවන් යානා කොල්ලකරුවන් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි ජාතිකයින් ය. කොල්ලකරුවන්ට මුදල් ලබා දීමට, ගුවන් යානා පාසල්වලට ඇතුලත් කර ගැනීමට සහ ඔවුන්ට සැන් ඩියාගෝ හි මුස්ලිම් ප්‍රජාව පිලිබඳ ප්‍රධාන එෆ්බීඅයි තොරතුරු සපයන්නාගේ නිවසේද ඇතුළුව නවාතැන් සොයාදීමට සෞදි නිලධාරීහු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ බුද්ධි අංශ නියෝජිතයියෝ සම්බන්ධ වූහ.

සෞදි සම්බන්ධතාවය ඉතා සංවේදී කරුනක් වන්නේ එම රට අරාබි ලෝකයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන හවුල්කරුවා වීම නිසා පමනක් නොව, ගුවන් යානා කොල්ලකරුවන් කිහිප දෙනෙක්ම සීඅයිඒ ඔත්තු බැලීම් යටතේ සහ එෆ්බීඅයි හි නිරීක්ෂන ලැයිස්තුවේ පවා ඉන්නා තතු තුල, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු එක්සත් ජනපදය තුලට නිදහසේ ඇතුලු වී කරක් ගසද්දී එෆ්බීඅයි හෝ වෙනත් ආයතන වල කිසිවෙකු ඔවුන්ගේ සැලසුම් දැන නොසිටියේ කෙසේද යන්න පිලිබඳව නොසන්සුන්තාව උපදවන වර්ගයේ ගැටලු සෞදි සහ එක්සත් ජනපද බුද්ධි අංශ අතර ඉතා සමීප සබඳතාව තුලින් පැනනැගීමයි.

එක්සත් ජනපද ඉතිහාසයේ “විශාලතම බුද්ධි තොරතුරු අසාර්ථකත්වය” ලෙස විස්තර කරන ලද මෙහි පවතින පැහැදිලි ප්‍රශ්නය නම්, සීඅයිඒ අධ්‍යක්ෂවරයාගේ සිට, කොල්ලකරුවන්ට වීසා ලබා දුන් තානාපති ඒජන්තයින් දක්වා, එක් නිලධාරියෙකු හෝ 9/11 න් පසු තනතුරින් පහත දැමීම තරම්වත් පීඩාවකට ලක් නොවූයේ කෙසේද යන්නයි. ඊට වෙනස්ව, පර්ල් වරායට ජපානය එල්ල කල ප්‍රහාරයෙන් පසුව, එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ අන දෙන නිලධාරීන් ඔවුන්ගේ අන කිරීම් වලින් ඉවත්කර හමුදාවෙන් පලවා හරින ලදි.

ඉදිරියට එන ප්‍රහාර ගැන අනතුරු ඇඟවීම් සහ එහි බොහෝ අපරාධකරුවන් සක්‍රීය අධීක්ෂනය යටතේ සිටියදීත් 9/11 සිදුවීමට ඉඩ ලැබුනේ කෙසේද යන්න පිලිබඳව කිසි විටෙකත් බරපතල විශ්වාසදායක පරීක්ෂනයක් සිදු වී නොමැත. දශක දෙකක් තිස්සේ එක්සත් ජනපද ආන්ඩුව ඉතා දැඩිව් ආරක්ෂා කර ඇති රහස් බයිඩන් පරිපාලනය විසින් හෙලිදරව් කරනු ඇතැයි අපේක්ෂා කිරීමට හේතුවක් නැත.

9/11 ප්‍රහාරයේ නිශ්චිත මූලාරම්භය කුමක් වුවත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දීර්ඝ කාලීන න්‍යාය පත්‍රය තියුනු ලෙස උත්සන්න කිරීමේ කඩතුරාවක් ලෙස ඔවුන් වහාම එය ඩැහැගන්නා ලදී. 1991 මොස්කව් හි ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව එක්සත් ජනපද පාලක පන්තිය තීරනය කලේ, එක්සත් ජනපද ගෝලීය ආර්ථික ආධිපත්‍යයේ පිරිහීම සමනය කර ගැනීමට සහ ගෝලීය දේශපාලනය නැවත සකස් කර ගැනීමට තම අනභියෝගී මිලිටරි හැකියාව භාවිතා කල හැකි බවයි.

9/11 ත්‍රස්ත ප්‍රහාරය, යුද්ධය සාධාරනීකරනය කිරීමට හේතුවක් පමනක් නොව ජනගහනය බිය ගැන්වීමේ හා ව්‍යාකූල කිරීමේ සහ එහි පුළුල් යුද විරෝධී හැඟීම් මැඩපැවැත්වීමේ මාධ්‍යයක් ද ලබා දුන්නේය. තවදුරටත් ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා තර්ජනය කරන බව පවසමින් ජනතාවය නිර්දය ලෙස භීතියට පත් කරමින් මාධ්‍ය සිය වගකීම ඉටු කලේය.

සති කිහිපයක් ඇතුලත එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කල අතර එහි ජනගහනය මතට ටොන් දහස් ගනනක බෝම්බ හෙලීය, අල්ලා ගත් දහස් ගනන් ඇෆ්ගන් සටන්කාමීන් සමූල ඝාතනය කලේය. වසර එකහමාරකටත් අඩු කාලයකට පසුව, ඉරාකයට එරෙහිව, “මහා විනාශකාරී ආයුධ” පිලිබඳ සහ සදාම් හුසේන් සහ අල් කයිඩා අතර නොතිබූ සබඳතා පිලිබඳ බොරු යුක්ති සහගත කරමින් දෙවන යුද්ධයක් දියත් කලේය.

මෙම යුද්ධ වල අරමුන වූයේ, වොෂිංටනය කියා සිටි පරිදි, එක්සත් ජනපද ජනගහනය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම නොව, පර්සියානු බොක්ක සහ මධ්‍යම ආසියාවේ බලශක්ති උත්පාදනය කරන ප්‍රධාන කලාපයන් කෙරෙහි එක්සත් ජනපද ආධිපත්‍යය තහවුරු කර ගැනීමයි.

9/11 ට පසු වහාම මිලිටරි බලකාය භාවිතා කිරීම සඳහා වූ අනුමැතිය ඒකමතිකව සම්මත වීමත් සමඟම, ආරක්‍ෂාව සහ ආර්ථික අවශ්‍යතාවන්ට තර්ජනයක් වූ ඕනෑම රටකට එරෙහිව “පූර්වභංග”යුද්ධ දියත් කිරීමේ බලය ඇමරිකානු ජනතාවගේ අල්පමාත්‍ර හෝ කැමැත්තකට පිටින් කොංග්‍රසය විසින් ඇමරිකානු ජනාධිපතිවරයාට සම්පූර්නයෙන්ම ලබා දුන්නේය.

ඔබාමා පාලනාධිකාරය ලිබියාවේ සහ පසුව සිරියාවේ පාලන වෙනස් කිරීම සඳහා නව යුද්ධ දියත් කරන විට, “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” යන කඩතුරාව වඩාත් විකාරසහගත විය. රටවල් දෙකෙහිම අල්කයිඩා හා සම්බන්ධ මිලීෂියාවන් වොෂිංටනයේ කුලීකාර භූමි බලකායන් ලෙස සේවය කලහ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව තොග පිටින් එල්ල කරන ප්‍රහාර සම්බන්ධ දුරදිග යන වෙනස්කම් හඳුන්වා දීමට ද මෙම ප්‍රහාර මඟින් අවස්ථාව ලැබුනි. ස්වදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, දේශප්‍රේමී පනත, ජනගහනය මත මහා පරිමාන ලෙස ඔත්තු බැලීම හඳුන්වා දීම, වරෙන්න්තු රහිත සෙවීම්, චෝදනා නොමැතිව රඳවා තබා ගැනීම සහ “අති විශේෂ උදර්පනය” මෙයට ඇතුලත් ය. වධ හිංසා කිරීමේ ක්‍රම ධවල මන්දිරයෙන් නියම කරනු ලැබ ඇති අතර ලොව පුරා විසිරී ඇති ග්වාන්ටනාමෝ සිට අබු ග්‍රයිබ්, බග්‍රෑම් සහ සීඅයිඒ “කළු අඩවි” දක්වා ක්‍රියාත්මක විය.

ඔබාමා යටතේ ධවල මන්දිරය ඝාතනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස පිහිටුවා ගත්තේය, එක්සත් ජනපද පුරවැසියන් ඇතුළු ඊනියා “සතුරු සටන්කරුවන්” සහ ලෝකයේ ඕනෑම තැනක, කිසිදු පැහැදිලි කිරීමකින්, වැඩි වියදමකින් හෝ නියමිත ක්‍රියාවලියකින් තොරව ඝාතනය කිරීමේ බලය තමා වෙත පවරා ගත්තේය. මෙම 'ඉලක්කගත මිනීමැරුම්' වලින් බොහෝ සිවිල් වැසියන්ද ඇතුලු දහස් ගනනින් මිය ගොස් ඇත.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් යුක්තිසහගත කරගත් රාජ්‍යයේ පොලිස් බලතලවල මෙම දැවැන්ත වර්ධනය, එක්සත් ජනපදයේ ඉතිහාසයේ සමාජ අසමානතාවයේ වේගවත්ම නැගීම මධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම සමඟ නෛසර්ගිකව නොගැලපෙන මට්ටම් කරා ලඟා විය.

9/11 ට පසුව ගත වූ වසර 20 ක අඛන්ඩ යුද්ධයේ ප්‍රතිවිපාක මොනවාද? ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව, යේමනය සහ වෙනත් රටවල එක්සත් ජනපද ප්‍රහාරයන්ට ලක් වූ මිලියන 1 ත් 2 ත් අතර මිනිසුන්ට ජීවිත අහිමි විය. තුවාල ලැබූ සංඛ්‍යාව තවත් මිලියන ගනනක් වන අතර යුද්ධයෙන් විනාශ වූ ප්‍රජාවන්ගෙන් මිලියන ගනනක් සරනාගතයින් බවට පත් විය. එක්සත් ජනපද භටයින් 7,000 ක් පමන ද, දල වශයෙන් මිලිටරි කොන්ත්‍රාත්කරුවන් එමෙන් දෙගුනයක් පමන ද මිය ගොස් තිබේ, තවත් දස දහස් ගනනක් තුවාල ලැබූ අතර තවත් බොහෝ දෙනෙක් නීච යටත්විජිත ආකාරයේ යුද්ධවලට සහභාගී වීමෙන් සිදු වූ මානසික කැලැල්වලින් පීඩාවට ලක් වූහ.

මෙම යුද්ධ සඳහා වූ මූල්‍ය පිරිවැය අතිමහත් ය. ඇෆ්ගනිස්තානයේ එක්සත් ජනපද වාඩිලාගැනීම අවසන් වූ බව නිවේදනය කරමින් අගෝස්තු 30 දින සිය දේශනයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ “ඇමරිකානු ජනතාව සමඟ අවංකව කටයුතු කිරීමට කාලය පැමින ඇති” බවයි, යුද්ධය සම්බන්ධයෙන් ඔවුන් නිරන්තරව ගිල දැම්මේ මුසාවන් බව, එමගින් ඔහු නිහඬව පිලිගත්තේය. ඇෆ්ගනිස්ථානයේ යුද්ධය සඳහා පමනක් පසුගිය වසර 20 තුල එක්සත් ජනපදය සෑම දිනකම ඩොලර් මිලියන 300 ක් වියදම් කල බව ඔහු සඳහන් කලේය.

බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ යුද පිරිවැය ව්‍යාපෘතියට අනුව ප්‍රවීනයන් සඳහා දිගු කාලීන සත්කාර ද ඇතුළුව පශ්චාත් 9/11 යුද්ධ සඳහා මුළු මිල සටහන ඩොලර් ට්‍රිලියන 8 කට වඩා වැඩි ය. එක්සත් ජනපද ආන්ඩුව සිය මිලිටරි වික්‍රමයන් සඳහා මුදල් යෙදවීමට ලබාගත් නය ට්‍රිලියන ගනනක් මෙයට ඇතුලත් නොවේ. මිලියන ගනනක් මරා දැමීම හා අංග විකල බවට පත්කිරීම වෙනුවට, එක්සත් ජනපදයේ සහ ලෝකයේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය යහපත් කිරීම සඳහා මෙතරම් විශාල මුදලක් වැය කලේනම් එයින් තෙතරම් දෙයක් සාක්ෂාත් කරගත හැකි වනු ඇතිද?

වසර 20 ක යුද්ධයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉටු කරගෙන ඇත්තේ කුමක්ද? කිසිම තැනක එහි අරමුනු සාක්‍ෂාත් කර නැත. තමන්ට සමස්ත සමාජයන් මතම මහා විනාශයන් කඩාපාත් කිරීමට හැකි වූ අතරේ තමන් ප්‍රහාරයට බඳුන් කල කිසිදු රටක හරිහමන් රූකඩ තන්ත්‍රයන් පැනවීමට නොහැකි වූ බව ඔප්පු විය. තලේබාන් සංවිධානය කාබුල් අල්ලා ගැනීම හමුවේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම විසින් නියෝජනය කරනු ලබන්නේ හුදෙක් නින්දිත මිලිටරි පරාජයක් පමනක් නොව දශක ගනනාවක් තිස්සේ අනුගමනය කරන ලද සමස්ත එක්සත් ජනපද ගෝලීය මූලෝපායම කුඩුපට්ටම් කරන පසුබෑමකි. කාබුල් වෙතින් ඉවත්ව යාම සම්බන්ධයෙන් එක්සත් ජනපද පාලක සංස්ථාපිතය තුල පැවති අර්ධ භ්‍රාන්තිය විසින් පැහැදිලි කරනු ලබන්නේ මෙයයි.

මිලිටරිමය වැරදි ගනනය කිරීම් හෝ බුද්ධි අංශ බිඳවැටීම් මගින් එවැනි ඓතිහාසික පරාජයක් පැහැදිලි කල නොහැකි අතර එය සමස්ත එක්සත් ජනපද ධනේශ්වර පද්ධතියම ග්‍රහනය කරගෙන ඇති ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදය ප්‍රකාශ කරයි.

9/11 හි සහ 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' හි දුරදිග යන සමාජ හා දේශපාලන උරුමයන් ඇත. බොරුව මත පදනම් වූ, නැවත නැවතත් සිදු කෙරෙන ආක්‍රමනකාරී යුද්ධ, ධවල මන්දිරයේ සිට කොන්ග්‍රසය දක්වා වූ ඇමරිකානු සමාජයේ සෑම ආයතනයක්ම, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ, මෙම යුද්ධ විකුනූ මාධ්‍ය, එයින් ලාභ ලැබූ මූල්‍ය ප්‍රභූව මෙන්ම ශාස්ත්‍රාලිකයින් සහ ඔවුන් වෙනුවෙන් ඉදිරියට පැමිනි ව්‍යාජ වාම ඉහල මධ්‍යම පන්තික ස්ථරයන් ද සමග අපකීර්තියට පත් කර ඇත.

නිතිපතා වධහිංසා පැමිනවීම සහ මිනීමැරුම් ඇතුළුව විදේශයන්හි පාලනයකින් තොරව සිදු වන ප්‍රචන්ඩ ක්‍රියා, මාෆියා ලොක්කන් මෙන් තම සතුරන් “එලවා දැමීම” ගැන එක්සත් ජනපද ජනාධිපතිවරුන් කරන කථා, නිතිපතා සමූහ වෙඩි තැබීම් සහ වෙනත් ප්‍රචන්ඩකාරී පිපිරීම් වලින් සමන්විත ඇති දේශීය ඇමරිකානු සමාජය කුරිරු කිරීමට දායක වී තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි චරිතයක් එක්සත් ජනපදයේ ජනාධිපති වී එක්සත් ජනපද මැතිවරනයක් පෙරලීමට කුමන්ත්‍රනයක් කිරීමට උත්සාහ කල හැකි දේශපාලන වාතාවරනයක් නිර්මානය කිරීමේදී එය විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වසර 20 ක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පරාජය වීම, කොවිඩ්-19 වසංගතය හා සම්බන්ධ සිය ඝාතක ප්‍රතිපත්තියට සමගාමීව සිදු වූ අතර, මහජන සෞඛ්‍යය, ලාභ අවශ්‍යතා සඳහා යට කිරීම හේතුවෙන් වලක්වා ගත හැකිව තිබූ සිය දහස් ගනනකගේ මරනයට හේතු විය. එක්සත් ජනපද පාලක පැලැන්තිය ඉරාකයේ හෝ ඇෆ්ගනිස්ථානයේ ජීවිතයට වඩා ඇමරිකානු ජීවිතවල වටිනාකමක් නොදකියි.

යුද්ධයේදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය නින්දාවට පත් වී ඇත, පාලක පන්තියේ ප්‍රතිපත්ති මඟින් අනවශ්‍ය කොවිඩ් මරන සිය දහස් ගනනක් සිදු කර ඇත, එහි වෙරල තීර දෙකක් ගංවතුරෙන් විනාශ වී ඇති අතර බටහිර ලැව් ගින්නෙන් විනාශ වී ඇතත් දේශගුනික විපර්යාසයන්ට මුහුන දීමට එයට කිසිදු ප්‍රතිපත්තියක් නැත. මේ අතර, ව්‍යාජ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන ගනන් මුද්‍රනය කර ඒවා සුපිරි ධනවතුන්ට පැවරීම මත පදනම් වූ වඩ වඩාත් මූල්‍යගත ආර්ථිකය, ආර්ථික ව්‍යසනයක් සූදානම් කරමින් සිටී. මෙම වර්ධනයන් එකට ගත් කල ගැඹුරු විප්ලවවාදී ඇඟවුම් ඇත.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පරාජය වීම, එක්සත් ජනපද මිලිටරිවාදය අවසන් වන බවට සංඥා නොකරයි. ඒ වෙනුවට, බයිඩන් පැහැදිලි කරන්නේ, ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීම අරමුන කර ඇත්තේ පෙන්ටගනය විස්තර කරන පරිදි, “මූලෝපායික තරඟකරුවන්” හෙවත් “මහා බලවත්” ප්‍රතිවාදීන් එනම් න්‍යෂ්ටික සන්නද්ධ චීනය සහ රුසියාව සමඟ ගැටුමකට එක්සත් ජනපද මිලිටරි බලය මාරු කිරීමටයි. වෙනත් වචන වලින් කිවහොත්, තුන්වන ලෝක යුද්ධයක් සඳහා වැඩෙන තර්ජනයක් පවතී.

මෙම කොන්දේසි යටතේ වඩාත්ම දැවෙන කර්තව්‍යය නම් මහජන යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. පසුගිය අවුරුදු 20 අපට යමක් ඉගැන්වූයේ නම්, එවැනි ව්‍යාපාරයක්, ඩිමොක්‍රටික් පක්ෂය හෝ ඇමරිකානු සමාජයේ පවතින ආයතන පදනම් කර ගත නොහැක. එය ලොව පුරා කම්කරුවන් සමඟ එක්සත් වී සමාජවාදය සඳහා වූ අරගලය සමඟ එක්විය යුතු කම්කරු පන්තිය තුල මුල් බැස ගත යුතුය.

Loading