වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී

ශ්‍රී ලංකාව තුල පෙරනොවූවිරූ මට්ටමෙන් උන රෝගය (ඉන්ෆ්ලුඑන්සා) පැතිර යන තතු තුල, කෝවිඩ්-19 රෝගය පාලනය කිරීමට යොදාගත් මහජන සෞඛ්‍ය ආරක්ෂක රීති යලි ක්‍රියාත්මක කලයුතු බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

විශේෂයෙන්ම, රෝගයට පහසුවෙන්ම ගොදුරුවිය හැකි, ලමුන්, වියපත්වූවන් සහ ප්‍රතිශක්තිකරන හැකියාව නොමැති පුද්ගලයන්, ඉහත රීති අනුගමනය කිරීම අත්‍යවශය බව, ලමා වෛද්‍ය විශේෂඥ ලක්කුමාර් ප්‍රනාන්දු, ජූලි 30 වන දා, ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ලමා වෛද්‍ය විශේෂඥ ලක්කුමාර් ප්‍රනාන්දු

“ලමුන් සහ වියපත්වූවන්, මුව ආවරන පැලඳීම, දෑත් සෞඛ්‍යමත්ව තබා ගැනීම සහ විශේෂයෙන්ම, මහජන ප්‍රවාහනයේදී සහ සමාජමය හමුවීම් වල දී කායික දුරස්ථකරනය පවත්වා ගැනීම” මෙහිදී අති මූලික බව ඔහු අවධාරනය කර තිබේ.

උන, හිස රුදාව, සොටු දියර ගැලීම, මාංශ පේශි රුදාව, සීතල ගතිය, ඕක්කාරය, දැඩි වෙහෙස, කෑම අරුචිය සහ උගුර කැසීම, උක්ත රෝගයේ ලක්ෂන ලෙස පෙන්වාදෙන වෛද්‍ය ප්‍රනාන්දු, පාසල් සහ ලමා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය ව්‍යාප්ත කෙරෙන මූලික ස්ථාන බැවින්, තම දරුවන් සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස දෙමාපියන්ට උපදෙස් දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ද, උන රෝගීන්ගේ දැඩි වර්ධනයක් තහවුරු කල බව ඉහත ඩේලි මිරර් වාර්තාව පවසයි.

කීප දෙනෙකුගේ මරනයට හේතු කාරක වන අයුරින්, කෝවිඩ්-19 රෝගීන්ගේ “සුලු වැඩිවීමක” දක්නට ඇති බව ද, නමුත්, එය අන්තරායකාරී තත්වයකට වර්ධනය වී නොමැති බැවින් අනවශ්‍ය “භීතියක්” ඇති නොකර ගතයුතු බව ද වෛද්‍ය විජේසිංහ තවදුරටත් පවසා ඇත. කෙසේ නමුත්, කෝවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂන සිදු නොකෙරෙන තත්වයක් තුල එවන් තක්සේරු අර්ථ විරහිතය.

වෛද්‍ය ප්‍රනාන්දු ඇතුලු අනෙකුත් වෛද්‍ය විශේෂඥයන් රෝගයේ වේගවත් පැතිරයාම සම්බන්ධයෙන් කරන අනාවරනයන් සහ එය පාලනය කිරීමේ අවශ්‍යතාව ගැන කෙරෙන අවධාරනයන් ඉතා වැදගත් ය. එසේ වුවද, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම අති මූලික වශයෙන්ම ආන්ඩුවේ වගකීමකි. ආන්ඩුව, අදාල රාජ්‍ය ආයතනයන්, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය වහා මෙහෙයවා ගනිමින්, රෝගය පාලනය කිරීමට අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය ආරක්ෂක පිලිවෙත් ක්‍රියාවට නැංවිය යුතුය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, එම වගකීම මුලුමනින්ම පැහැරහැර ඇත. අවම වශයෙන් රෝගයේ ලක්ෂන, එහි සීඝ්‍ර ව්‍යාප්තිය සහ පාලනය කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දියත්කොට නොමැත. උත්ප්‍රාසාත්මකව, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ, මහජන සෞඛ්‍ය සේවා අංශයට අයත් පිටුවේ ඉහලින්ම සඳහන් කර ඇත්තේ, “අපි ඔබගේ සෞඛ්‍ය සම්පන්නතාව රැක බලා ගන්නෙමු” යන්න යි. මෙම “රැක බලා ගැනීමේ” තරම කෙසේදයත්, වෛද්‍ය විශේඥයන් මේ සා අවධාරනය කරන උන රෝගය ගැන එක් වචනයක් හෝ එහි සඳහන් නොවේ.

ආන්ඩුවේ මෙම නරුම ප්‍රතිචාරය පිටුපස පවතින අති මූලික කරුනු මොනවාද?

රෝගය වලක්වනුවස්, කායික දුරස්ථකරනය සහ සංචරන සීමා ඇතුලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලියට බාධා පමුනුවන බැවින්, ධනපති ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පංතිය එකී පියවර ක්‍රියාත්මක කිරීමට සපුරා එරෙහිය. රෝගය සම්බන්ධයෙන් කෙරෙන කවර හෝ දැනුවත් කිරීමක්, එම පියවර ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහජනතාවට මුනගස්වනු ලබන බැවින් ආන්ඩුව සිතාමතාම මහජනතාව අන්ධකාරයේ තබයි.

කෝවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යන තතු තුල, ඉහත මහජන සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් ක්‍රියාවට නැංවීමේ හදිසි සහ දැවෙන අවශ්‍යතාව ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන් යලියලිත් අවධාරනය කරද්දී, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිත්වය දැරූ ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ලොවපුරා පාලකයෝ, පනවා තිබූ සීමාවන් ද ඉවත් කරමින්, කම්කරුවන් වැඩට දැක්කූහ. මේ මිනීමරු පිලිවෙතේ ප්‍රතිඵලය වූයේ මිලියන 7 කට අධික මිනිස් ජීවිත අහිමිවීමයි. කෝවිඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාව තුල පමනක් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 17,000 කට ආසන්න ය.

කෝවිඩ්-19 වසංගතයත් සමග, ධනපති පාලක පංතියේ මෙම පිලිවෙත, එනම් මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීම, වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.

මේ දිනවල එක්සත් ජනපදය තුල ව්‍යාප්ත වන H5N1 කුරුලු උන වෛරසය සම්බන්ධයෙන්, බයිඩන් පරිපාලනය දක්වා ඇති ප්‍රතිචාරය එහි ප්‍රබලතම ප්‍රකාශනයකි. කෝවිඩ්-19 වෛරසයේ මරන අනුපාතිකය මෙන් 50 ගුනයක මරන අනුපාතයක් ඇති මෙම වෛරසය පැතිරයාම වැලැක්වීම සම්බන්ධයෙන් කවර හෝ පියවරක් බයිඩන් පරිපාලනය විසින් ගෙන නොමැත. මැයි මස මුලදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් විසින් “අවදානම අඩුයි” යනුවෙන් කරන ලද තනි ප්‍රකාශයක් හැරුනු විට, ධවල මන්දිරය කුරුලු උනෙන් වර්ධනය වන අන්තරායන් ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.

අනෙක් අතට, ගෝලීය ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හේතුවෙන් ලොවපුරා ධනපති පාලක පංතීහු මහජන සෞඛ්‍යය ඇතුලු සුබසාධන ක්ෂේත්‍රයන් දැවැන්ත පරිමානයෙන් කප්පාදු කරමින් පවතී. ශ්‍රී ලංකාව එහි තියුනුම ප්‍රකාශනයකි.

අතීතයේදී, ශ්‍රී ලංකාව දකුනු ආසියාවේ මහජන සෞඛ්‍ය සේවයේ “පරමාදර්ශය” ලෙස උත්කර්ෂයට නැංවුනු නමුත්, අද ඒ සඳහා රාජ්‍ය වියදම දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 1.5 දක්වා කප්පාදු කෙරී ඇත. “ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවන් බිඳවැටීමට මුහුන දී සිටී” යන හිසින්, 2023 මැයි 4 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු ලිපියේ පැහැදිලි කල පරිදි, 'ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයන්ගේ හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ, උපකරන සහ මූලික පහසුකම් හිඟය නිසා ඇති වූ ව්‍යසනකාරී බිඳවැටීමකට මුහුන දී සිටී. වාට්ටු වැසීයාම, ශල්‍යකර්ම කල්දැමීම සහ මූලික ඖෂධ හිඟය හේතුවෙන් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති.”

උන රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය මෙම තත්වය වඩාත් දරුනු අතට හරවනු ඇත.

රෝග ව්‍යාප්තීන් පාලනය කිරීම, මහජන සෞඛ්‍ය සේවයේ වඩාත්ම ව්‍යසනකාරී තත්වයකට මුහුන දී සිටින ක්ෂේත්‍රයකි. මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක වන මෙම ක්ෂේත්‍රය දැඩි මානව සහ භෞතික සම්පත් හිඟයකින් පෙලේ. උදාහරනයක් ලෙස, මිලියන 22 ක ජනගහනයක් සහිත ශ්‍රී ලංකාව තුල සේවයේ යෙදී සිටින සමස්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක සංඛ්‍යාව 1793 කි. එනම් එක් පරීක්ෂකවරයෙකු විසින් 12,270 ක ජනතාවකගේ මහජන සෞඛ්‍ය කටයුතු ආවරනය කලයුතු වෙයි.

අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල කප්පාදු මගින් බිඳ වැටීමේ අද්දරටම ගෙනැවිත් ඇති මහජන සෞඛ්‍ය සේවය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත වික්‍රමසිංහ ගෙනයන කප්පාදු වැඩපිලිවෙල හේතුවෙන්, මුලුමනින්ම විනාශ කෙරෙනු ඇත. ඉදිරි මැතිවරන වලින් බලයට පත්වන, කවර හෝ ධනපති ආන්ඩුවක් වේවා, මෙම වැඩපිලිවෙල ඉදිරියටම ගෙනයනු ඇත. වික්‍රමසිංහ මෙන්ම, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල වෙනුවෙන් කැප වී සිටිති.

මුල්‍ය අරමුදලේ විධානයන් මත, මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු සේවාවන් කප්පාදු කරමින් එක්‍ රැස් කර ගන්නා මුදල්, මුලුමනින්ම යොදාගනු ලබන්නේ, ධනපති පංති පාලනය පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ලබාගත් දැවැන්ත නය ආපසු ගෙවීම ඇතුලු ජාත්‍යන්තර සහ ජාතික ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් වෙනුවෙනි.

යලියලිත් තහවුරු වන්නේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මහජන සෞඛ්‍යය සහ මහජන අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් කිසිවක් ආරක්ෂා කල නොහැකි බවයි.

Loading