ධනපති අපේක්ෂකයන් ව්‍යාජ වැඩපිලිවෙලවල් තොරොම්බල් කරන ජනාධිපතිවරන උද්ඝෝෂනය ඇරඹේ

එලැඹෙන ජනාධිපතිවරනය සඳහා නාමයෝජනා බාරදුන් අපේක්ෂකයින් 40න් 39ක්ම ජනාධිපතිවරනයට තරඟ කිරීමට සුදුසුකම් ලැබූ බව අගෝස්තු 15දා මැතිවරන කොමිෂන් සභාව නිවේදනය කලේය.

එදින, අපේක්ෂකයන්ගේ “ආරක්ෂාවට” යැයි කියමින් මැතිවරන කොමසාරිස් කාර්යාලය වටා උස ගොඩනැගිලිවල සීරුවෙන් රඳවා සිටි ස්නයිපර් තුවක්කුකරුවන් ද ඇතුලුව මැතිවරන කාර්යාලය ඇතුලත හා පිටත වීදි වල දහස් ගනනක් හමුදා හා පොලිස් භටයින් යොදවා තිබුනේ ආන්ඩුවේ මර්දන හස්තය ප්‍රදර්ශනය කරමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොප), සමගි ජන බලවේගය (සජබ), ජාතික ජන බලවේගය/ ජනතා විමුක්ති පෙරමුන (ජාජබ/ජවිපෙ) ඇතුලු විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ද “ස්වාධීන” යැයි කියා ගන්නා අපේක්ෂකයන්ද ජනාධිපතිවරනයට ඉදිරිපත්ව තිබුනද ඔවුන් එකිනෙකාට අතිනත දෙමින් වැලඳගනිමින්, පිටට තට්ටු කරමින් කල්ලි ගැසී සතුටු සාමීචියේ යෙදෙමින් පෙන්නුම් කලේ, තමන් අයත් වන්නේ, එකම පන්තියකට, එනම් ධනපති පන්තියට බවයි.

ජාජබ/ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රීලංපොපෙ අපේක්ෂක නාමල් රාජපක්ෂට අතටඅත දීම සාධාරනීය කර තිබුනේ එය තම සංවිධානයේ සදාචාරාත්මක බව පෙන්නුම් කරන බව සඳහන් කරමිනි.

එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) අපේක්ෂක සිරිතුංග ජයසූරිය

එක්සත් සමාජවාදී පක්ෂයේ (එසප) අපේක්ෂක සිරිතුංග ජයසූරිය, වික්‍රමසිංහ ට අතට ඇත දී සෑහෙන වේලාවක් කතාබහේ යෙදුනේ දෙදෙනා අතර අතීතයේ පැවති සමීප දේශපාලන සම්බන්ධකම් සිහි ගන්වමිනි.

නාම යෝජනාවලින් සතියක් යනතුරු පෙලපාලි සංවිධානය නොකිරීම, පාලක පක්ෂයට රජයේ දේපල “අවභාවිතා” නොකිරීම ඇතුලු මැතිවරන නීති ආරක්ෂා කිරීමට අපේක්ෂකයන්ට “උපදෙස්” දුන් මැතිවරන කොමසාරිස්, මාධ්‍ය තුල සියලුම අපේක්ෂයන්ට සමාන අවස්ථා සැලසිය යුතු බව පෙන්වා දුන්නේ ය. කතාවේ උනුසුම මැකෙන්නටත් පෙර ඊනියා “ප්‍රධාන” අපේක්ෂයන් විසින් එම උපදෙස් උල්ලංඝනය කෙරුනේ, තමන් ඒවා තඹේකට නොතකන බව ඇඟවුම් කරමිනි.

ධනපති පක්ෂවල අන්තේවාසික මාධ්‍ය එම පක්ෂවල අපේකෂකයන්ගේ මුවෙන් පිටවෙන සියල්ල වාර්තා කිරීමට කැපවී සිටි අතර සසප අපේක්ෂකයා ද ඇතුලු අනෙකුත් බොහෝ අපේක්ෂයන්ට කීමට ඇති දේවල් ගැන තමන් නොතකන බව විවෘතව ම කීමට තරම් නිර්ලජ්ජිතවූහ.

ප්‍රධාන ධනපති පක්ෂවල ජනපති අපේක්ෂකයන් සිය මුහුනු ප්‍රදර්ශනය කෙරුනු පුවරු රැගත් ආධාරකරුවන් සියගනනක් මැතිවරන කාර්යාලයෙන් එපිට වීදි දෙපස රැස්කරවා තිබුනි. නාමයෝජනාවලින් අනතුරුව පපරේ බෑන්ඩ් ගසමින් සටන්පාඨ කියමින් ආධාරකරුවෝ ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා පිරිවරා පැවත්වූ නාටක සන්දර්ශන පෙන්නුම් කලේ, දරිද්‍රතාව ඇතුලු දැවෙන මහජන අවශ්‍යතාවන්ගෙන් මොවුන් කෙතරම් දුරස්ථ ද යන්නයි.

දශක ගනනාවක් තිස්සේ ධනපති පන්තියේ සාම්ප්‍රදායික පක්ෂය ලෙස පැවැති එක්සත් ජාතික පක්ෂය අපකීර්තියට පත්ව මහජන පදනම් දියවී යාමෙන් පෙලෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ, “ස්වාධීන” අපේක්ෂකයෙකු ලෙස ය. වික්‍රමසිංහගේ ජනාධිපති සම්ප්‍රාප්තිය, සමගි ජන බලවේගය (සජබ) ජවිපෙ, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති නිලධරය විසින් 2022 මහජන අරගලය යටපත් කිරීමට සිදුකල උපාමරු දැමීම් වල ප්‍රතිපලයකි.

වීදි බට මිලියන සංඛ්‍යා මහජනයාගේ විරෝධය මධ්‍යයේ රටින් පලාගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරිව තිබූ දෙවසරක කාලය සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසින් බලයට ගෙන ලද වික්‍රමසිංහ, ඇමෙරිකන් අධිරාජ්‍යවාදයේ ගැත්තෙකි.

ආන්ඩු විරෝධී අරගලකරුවන්ට එරෙහිව නඩු පවරමින් සිය ගනන් අත්අඩංගුවට ගනිමින්ද වැඩ ඇරඹූ වික්‍රමසිංහ එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු පිලිවෙත් නිර්දය ආකාරයෙන් ක්‍රියාවේ යෙදවූයේ ය. දරිද්‍රතාව මෙන්ම රැකියා විරහිතභාවය ඉහලයාම ඇතුලු කම්කටොලු වලට මිලියන සංඛ්‍යාත පීඩිත ජනයා තල්ලු කිරීම මෙහි ප්‍රතිපලය විය.

රනිල් වික්‍රමසිංහ

නාමයෝජනාවලින් පසුව මාධ්‍ය වෙත කතා කරමින් වික්‍රමසිංහ කීවේ, තමන් “ශ්‍රී ලංකාවේ ජනතාවට දීප්තිමත් අනාගතයක් නිර්මානය කරදීමට මහජන වරමක් බලාපොරොත්තු වෙන” බවයි. පසුගිය දෙවසරක කාලය තුල ඔහුගේ පාලනය විසින් මහජනයා වෙත කඩාපාත් කරන ලද ධනේශ්වර අර්බුදයේ බර වික්‍රමසිංහ විසින් සාධාරනීකරනය කලේ, “අපි රට භාර අරගෙන ස්ථාවරභාවය ඇතිකලා. අපට දැන් ආහාර, තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. මේක ආරම්භය විතරයි” යනුවෙන් පවසමිනි.

වික්‍රමසිංහ සඳහන් කරන මෙම “ස්ථාවරභාවය” වනාහී ධනපති පාලනය, මහජන විරෝධයෙන් තාවකාලිකව ගලවා ගැනීමයි. ලංකාව “ස්ථාවර ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා තව බොහෝ දේ සිදුකල යුතුව” තිබෙන බව කී ඔහු ඒ සඳහා තමන් ජනාධිපති කරවන්නයැයි ඉල්ලා සිටියේ ය. වික්‍රමසිංහ “තව බොහෝ දේ” ලෙස අදහස් කරන්නේ නිසැකව ම, දැනටත් වඩා ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු සහ ඒවාට එරෙහිව පැනනගින මහජන අරගල මැඩීම සඳහා තවතවත් රුදුරු මර්දන නීති සහ පොලිස්-මිලිටරි ප්‍රහාර යනාදියයි.

දශක ගනනාවක ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ධනේශ්වර හිතැති වැඩපිලිවෙල හේතුවෙන් සමස්ත මහජන පදනම් සෝදාපාලුවට ලක්ව ඇති වික්‍රමසිංහගේ යූඇන්පියෙන් උපායශීලි ලෙස වෙන්වී පිහිටුවා ගත් සජබ ට මවු පක්ෂයේ වැඩපිලිවෙලට වෙනස් වැඩපිලිවෙලක් ඇත්තේ නැත. නාමයෝජනා දිනයේදී මාධ්‍ය අමතමින් සජබ ජනාධිපති අපේක්ෂක ප්‍රේමදාස, “පොදු ජනයාගේ යුගයක් නිර්මානය කිරීමට පොරොන්දු වන” බව කීවේ ය. “සංවර්ධනයේ වරප්‍රසාද රටේ සෑම කෙනෙකුටම භුක්ති විඳිය හැකි වාතාවරනයක් මම නිර්මානය කරමි” යැයි ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

අනෙකුත් සියලුම ධනපති පක්ෂ මෙන්ම ජාමූඅය ඇනවූ කප්පාදු පිලිවෙත් ඉදිරියට ගෙනයන බවට එහි නායක සජිත් ප්‍රේමදාස ඇතුලු අනෙකුත් සජබ නායකයෝ මහ ව්‍යාපාරිකයන්ට පොරොන්දුවී සිටිති. ප්‍රේමදාස 2022 අප්‍රේල් මාසයේ බ්ලූම්බර්ග් රූපවාහිනියට මෙසේ පැවසීය: “අපි හැමෝටම මේ තිත්ත බෙහෙත් පෙත්ත, එහෙමත් නැතිනම් පෙති කිහිපයක් පවා ගිල දමන්න සිදු වෙනවා... ඒක ඉතාමත් දුෂ්කර කාලයක් වෙන්නයි යන්නේ. ශ්‍රී ලංකාවේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි.”

මෙරට ධනපති පන්තියේ සාම්ප්‍රදායික පක්ෂය ලෙස යූඇන්පියේ වාර්තාව වන්නේ ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට අවනතව කටයුතු කිරීම, නිමක් නැති කප්පාදු, ආඥාදායකත්වය, දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයේ නිල ආරම්භකයා ඇතුලු ප්‍රතිගාමීත්වයේ වාර්තාවකි. ඒ අපකීර්තිමත් උරුමය සජබ දරා සිටී. 2022 මහජන අරගල මධ්‍යයේ, තමන් අතට බලය මාරුකර ගැනීම සඳහා සජබ නායකයෝ මහජනයාට හොරෙන් සාකච්ඡා කල බව මෑතකදී සජබ නායකයින් පැවත්වූ පුවත්පත් සාකච්ඡාවකදී හෙලිදරව් විය.

ජාජබ/ජවිපෙ නායක අනුර කුමාර දිසානායක


ජාජබ/ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, අනෙකුත් ධනපති අපේක්ෂකයන්ට වඩා වෙනස් වන්නේ දූෂන අහෝසි කිරීම ගැන කරන හඬතැලීම් විසින් පමනි. ලංකාවේ ධනපති ක්‍රමය අර්බුදයට ගොස් ඇති බව හා එය ලෝක ධනපති අර්බුදයේ කොටසකියි යන කාරනය වසං කිරීමේ කොටසක් ලෙස ඔහු ඇතුලු ජාජබ මෙම වංචා හා දූෂන විරෝධී උද්ඝෝෂනය ගෙනයමින් සිටී.

දැන් මුලුමනින්ම අධිරාජ්‍ය ගැති ධනපති පක්ෂයක් බවට රූපාන්තරනය කෙරී පවතින ජවිපෙ ජාජබ පිහිටුවා ගත්තේ, 1970 ගනන්වල සුලුධනේශ්වර මාවාදී-කැස්ත්‍රෝවාදී පක්ෂයක් ලෙස ජවිපෙ පිහිටවූ තැන් පටන් විවිධ ධනපති ආන්ඩුවලට කත්ඇදීමෙන් හා වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන කසකරුවෙක් වීමෙන් දියවූ මහජන පදනම් යලි තමන් වෙත ඇද ගැනීමේ අපේක්ෂාවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩකිරීමට සිය එකඟතාව දිසානායක විසින් හුවා දක්වනු ලබන්නේ මහා ව්‍යාපාරිකයන්ගේ ඒත්තු ගැන්වීම සඳහා ය. අගෝස්තු 8 දා ඩේලි මිරර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවකදී දිසානායක මෙසේ පැවසීය: “අපි ජාමූඅ ගිවිසුම සමඟ දිගටම වැඩට කරනවා... ජාමූඅ හි ප්‍රවේශය වන්නේ රටට මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමයි.”

ජනාධිපතිවරනයේදී වඩාත්ම වංචනික කාර්යභාරය ඉෂ්ට කරන්නේ 2022 මහජන අරගලය පාවාදීම සඳහා මූලිකවම වගකිවයුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජවාම පක්ෂ හා කන්ඩායම්, වෘත්තීය සමිති නිලධරයන් රැලිකරගනිමින් ඊනියා “ජන අරගල ව්‍යාපාරය” විසින් ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයා වන නුවන් බෝපගේ ය.

එකී කන්ඩායම් පෙරටුකරමින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී බෝපගේ කීවේ,“සමස්ථ රාජ්‍ය ව්‍යුහයම පරිවර්තනය කිරීම” හා “ සමාජවාදී ප්‍රතිපත්ති පදනම්වූ අර්ථක්‍රමයක් කරා යාමේ වැඩපිලිවෙලක්” ඔවුන් යෝජනා කරන බවයි. මෙය වංචාවකි. පෙසප යෝජනා කරන “මහජන සභා” වල අරමුන වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය යටපත් කර, ධනපති ක්‍රමයට බලපෑම් දමා ඉල්ලීම් දිනාගතහැකිය යන උගුලක් තුල කොටු කිරීමට ය. පෙසප නායකයින් පුනපුනා ප්‍රකාශ කරන්නේ සමාජවාදය සඳහා සටන ඈත අනාගතයක කටයුත්තක් බවයි.

මැතිවරනයේදී කම්කරු පීඩිත ජනයා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඔවුන් ස්වාධීනව සන්නද්ධ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය පානි විජේසිරිවර්ධන යි.

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය පානි විජේසිරිවර්ධන

නාමයෝජනා බාරගැනීමෙන් අනතුරුව, සසප මාධ්‍ය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරමින්, සසප අපේක්ෂකයා, අනෙකුත් සියලු ධනපති අපේක්ෂකයන්ට එරෙහිව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව, විදේශන නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු, මහා බැංකු ඇතුලු විශාල සංගත කම්කරු පන්තියේ පාලනය යටතේ ජනසතු කරනු හා ඒ මත සමාජවාදී නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් යටතේ ආර්ථික ක්‍රමය ප්‍රතිසංවිධානය කරනු යන සටන්පාඨය ඉදිරිපත් කරමින් සසප මැතිවරනයට තරග වදින බව සඳහන් කලේ ය.

එමෙන්ම අන් කිසිදු අපේක්ෂකයෙක් සඳහන් නොකල කාරනයක් වන, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ලෝක සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැංවීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස ජනාධිපතිවරන උද්ඝෝෂනය යොදා ගන්නා බව විජේසිරිවර්ධන සඳහන් කලේ ය. එමෙන්ම ජාමූඅ කප්පාදු පිලිවෙත්වලට නැගෙන මහජන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා බලයට පත්වෙනු ඇති ඔ්නෑම පාලකයෙක් රුදුරු ආඥාදායක පිලිවෙත්වෙලට මාරුවෙනු ඇති බවට කම්කරු පන්තියට අනතුරු ඇඟවූ විජේසිරිවර්ධන, ධනවාදයට විරුද්ධව ජාත්‍යන්තර සමාජවාදය වෙනුවෙන් සටන් කරන අපේක්ෂකයාට මැතිවරනයේදී සහය දෙන ලෙස කම්කරු පීඩිත මහජනයාගෙන් ඉල්ලා සිටියේ ය.

1968දී ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යතරයේ ලංකා ශාඛාව ලෙස සසප පූර්වගාමියාවූ විප්ලවවවාදී කොමියුනිස්ට් පක්ෂය (විකොස) පිහිටුවාගත් තැන පටන් ගෙවුනු දශක පහකට වැඩි කාලය තුල විකොස/සසප මූලධර්මාත්මකව සටන් වැදුනේ කම්කරු පන්තියේ මෙම ප්‍රතිපත්ති වෙනුවෙනි. සසපට හැර අන් කිසිදු දේශපාලක පක්ෂයකට එවන් නිකැලැල් වාර්තාවක් ඇත්තේ නැත. ධනවාදයට එරෙහි සමාජවාදී වැඩපිලිවෙලකට සටන්වැදීම සඳහා කම්කරුවන්, පීඩිතයන්, තරුනයින්, ශිෂ්‍යයින්, බුද්ධිමතුමන් හා අවශේෂ ජනයා මැතිවරනයේදී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය දිය යුතුවන්නේ එබැවිනි.

Loading