ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය දියත් කරමින් සසප ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

[මෙය SEP (Sri Lanka) holds public meeting to launch presidential election campaign යන මැයෙන් 2024 අගෝස්තු 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2024 අගෝස්තු 16 වැනි දින කොලඹ මැතිවරන රැස්වීමේ කොටසක්.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, අගෝස්තු 16 සිකුරාදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සසප ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය දියත් කරමින් බලගතු රැස්වීමක් පැවැත්වූහ. පාක්ෂිකයින් සහ ආධාරකරුවන් ඇතුලු 60 දෙනෙකු පමන මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙය සසප විසින් උතුරු හා දකුනු පලාත් ඇතුලුව රට පුරා සංවිධානය කර ඇති රැස්වීම් කිහිපයකින් පලමුවැන්න විය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සැප්තැම්බර් 21 සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර රැස්වීමේ මුලසුන දැරීය. විජේසිරිවර්ධන හඳුන්වා දෙමින් ඔහු පැවසුවේ, කම්කරුවන් හා තරුනයන් අතර ජාත්‍යන්තර සමාජවාදය උදෙසා පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා සටන් කිරීමේ වසර 50 ක පමන වාර්තාවක් සසප අපේක්ෂකයාට ඇති බවයි.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර 2024 අගෝස්තු 16 වන දින ජනාධිපතිවරන රැස්වීමේ මුලසුන හොබවමින්.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර 2024 අගෝස්තු 16 වන දින ජනාධිපතිවරන රැස්වීමේ මුලසුන හොබවමින්.

මැතිවරනය තුලට සසප මැදිහත්වීමේ අරමුන පැහැදිලි කල ජයසේකර, අධිරාජ්‍යවාදී යුද්ධයටත්, පාලක පන්තිය කප්පාදුවට හා ආඥාදායක පාලන රූපාකාර දෙසට හැරීමටත් එරෙහිව, සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම පුලුල් කිරීමට පක්ෂය උද්ඝෝෂනය කරන බව පැවසීය.

“දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලට සහ ඔවුන්ගේ වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම නියෝජිතයින්ට පටහැනිව, මැතිවරනයේදී කම්කරුවන්ට හා පීඩිත ජනතාවට සත්‍යය පවසන එකම පක්ෂය සසපයි,” ඔහු පැවසීය. “ගැඹුරු වන දරිද්‍රතාවය, විරැකියාව සහ අනෙකුත් සමාජ ගැටලු ඇතුලුව මහජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න කිසිවක් ධනේශ්වර ලාභ පද්ධතිය තුල හෝ ජාතික පදනමක් මත විසඳන්න බැහැ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තිය බලයට ගෙන ඒම සහ ගෝලීය වශයෙන් ධනේශ්වර පාලනය පෙරලා දැමීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් සහ ඉදිරිදර්ශනයක් සඳහා අරගලයක්.”

සසප දේශපාලන කමිටු සාමාජික විලානි පීරිස් රැස්වීමේදී පැවසුවේ, ධනවාදය අහෝසි කර එය සමාජවාදය මගින් විස්ථාපනය කිරීමේ ගෝලීය මූලෝපායක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට හා මග පෙන්වීමට සසප සටන් වදින බවයි.

සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් 2024 අගෝස්තු 16 වැනි දින ජනාධිපතිවරන රැස්වීම අමතමින්.

“පාලක පන්තිය යුද්ධයට හා විනාශයට තල්ලු කරන ධනවාදයේ එම ප්‍රතිවිරෝධතාම, කම්කරු පන්තිය සමාජ විප්ලවය දෙසට ද තල්ලු කරනවා,” යැයි ඇය පැවසුවාය. “නමුත් කම්කරු පන්තියට අවශ්‍ය විඥානය ස්වයංසිද්ධව සාක්ෂාත් කරගන්න බැහැ. කම්කරු පන්තියට අවශ්‍ය ඉදිරිදර්ශනය සහ නායකත්වය සැපයීම සඳහා විප්ලවවාදී පක්ෂයක් තිබිය යුතුයි. මැතිවරන උද්ඝෝෂනයේ දී අපි කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමේ අරගලය ගැඹුරු කරමින් සිටිනවා.”

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) හි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු, රටේ තරුනයන් සම්බන්ධව පාලක පන්තියේ ලේ වැකි වාර්තාවට අවධානය යොමු කලේය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික ආන්ඩු විසින් වාර්ගික යුද්ධයේදී දෙමල තරනයින් ද, දකුනේ ග්‍රාමීය නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා 1971 දී සහ නැවත 1988-90 දී දහස් ගනන් සිංහල තරුනයින් ද සංහාරය කිරීම, ඔහු පෙන්වා දුන්නේය.

1940 ගනන් වලදී, එවකට ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදී බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) නායකත්වය යටතේ, කම්කරු පන්තියේ අරගල තුලින් දිනාගත් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වැනි අත්‍යවශ්‍ය මහජන සේවාවන් අනුප්‍රාප්තික ආන්ඩු විසින් කප්පාදු කර ඇති බව ප්‍රනාන්දු පැහැදිලි කලේය. කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහිව එකක් පිටුපස එකක් ලෙස පැමිනි ප්‍රහාර ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ නිවැරදි බව නිෂේධාත්මක ආකාරයට පෙන්නුම් කරන බව ඔහු පැවසීය. “පසුගාමී රටවල ධනේශ්වරය වැඩකරන ජනතාවගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීමට මුලුමනින්ම අසමත්. මෙම අයිතීන් සාක්ෂාත් කර ගැනීමට හැකි වන්නේ, දුගී ගොවීන් තමා වටා ඒකරාශීකර ගනිමින් සමාජවාදය සඳහා සටන් කරන කම්කරු පන්තියට පමනයි,” ප්‍රනාන්දු පැවසීය.

සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු 2024 අගෝස්තු 16 වන දින කොලඹ මැතිවරන රැස්වීම අමතමින්.

ප්‍රධාන කථාව පවත්වමින්, සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන සසප සහ අනෙකුත් අපේක්ෂකයින්ගේ මැතිවරන ව්‍යාපාර අතර ප්‍රධාන වෙනස්කම් පෙන්වා දුන්නේය. “සසපට මැතිවරනයට කියා වෙනම වැඩපිලිවලක් නැහැ. අපගේ මැතිවරන ව්‍යාපාරය තුලදී, අපි වැඩකරන ජනතාවට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සහ අපගේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ඉදිරිදර්ශනය ඉදිරිපත් කරනවා.”

එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් අතින් වර්ධනය වන ලෝක යුද්ධයේ අන්තරාය පිලිබඳ අනතුරු අඟවන එකම පක්ෂය සසප බව විජේසිරිවර්ධන පැවසීය. අනෙකුත් කිසිම අපේක්ෂකයෙක් මේ ප්‍රශ්නය ජනතාව ඉදිරියේ මතු කරන්නේ පවා නැත. වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත තීව්‍ර වන ප්‍රහාරය ගලා එන්නේ ධනවාදයේ ගෝලීය අර්බුදයෙන් බව ඔහු පැහැදිලි කලේය.

“ඔවුන්ගේ නාමයෝජනා භාර දීමෙන් පසු, සියලුම ධනේශ්වර අපේක්ෂකයින් කතා කරන්නේ ‘රට’ ගොඩනැගීම ගැන. මේ 'රට' සමන්විත වන්නේ කුමකින් ද? රටේ ප්‍රධාන පන්ති දෙකක් තිබෙනවා: ධනේශ්වරය සහ කම්කරු පන්තිය. ඔවුන් හැමෝම අදහස් කරන්නේ, කම්කරු පන්තියේ වියදමින් ධනේශ්වරයේ ලාභයට මුක්කු ගැසීම ගැනයි,” ඔහු පැවසීය. ඔවුන් සියල්ලන්ටම ප්‍රතිකූල ව සසප කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා සටන් වදියි.

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන 2024 අගෝස්තු 16 කොලඹ මැතිවරන රැස්වීම අමතමින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ ප්‍රශ්න විසඳන බව ප්‍රකාශ කරන මුත්, නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2019 දී සියයට 11 සිට 2024 දී සියයට 26 දක්වා ඉහල ගොස් ඇති බව විජේසිරිවර්ධන පැවසීය. රටේ ධනයෙන් පහල සියයට 50 ට හිමිව ඇත්තේ සියයට 4 කටත් වඩා අඩු ධනයකි. 'මේ සංඛ්‍යාවලින් පෙන්නුම් කරන්නේ වික්‍රමසිංහ ප්‍රශ්න විසඳන්නේ කුමන පන්තිය සඳහාද යන්නයි.'

2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නෙරපා හැරීමට බලකරමින් මිලියන සංඛ්‍යාත කම්කරුවන්, තරුනයින් සහ ගම්බද ජනතාව රට පුරා වැඩ වර්ජන හා විරෝධතාවලට එක්වූ මහජන නැගිටීමේ දේශපාලන පාඩම්, කථිකයා පෙන්වා දුන්නේය. රාජපක්ෂට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට සිදු විය. එහෙත් වෘත්තීය සමිති නිලධරය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (සසප) වැනි ව්‍යාජ වම්මුන්, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීමට, මහජන ව්‍යාපාරය, සමගි ජන බලවේගය සහ ජවිපෙ විසින් ප්‍රවර්ධනය කරන ලද “අන්තර්වාර ආන්ඩු” උගුලකට යොමු කිරීමට වැඩ කලහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන දැඩි කප්පාදු පියවර ක්‍රියාවට නංවන, වික්‍රමසිංහ බලයට පත් කිරීමට, මෙය මග පෑදීය.

2022 කාලය තුල සසප, විකල්ප විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා අරගල කරන කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන් අතර සටන් කල බව විජේසිරිවර්ධන පැහැදිලි කලේය. දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂවලට සහ ඔවුන්ගේ ව්‍යාජ වාම සහචරයින්ට ප්‍රතිකූලව, සෑම වැඩපලකම, කම්හලකම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. එය, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු වලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කර ගත් නියෝජිතයින් මත පදනම්ව කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් (ඩීඑස්සී) සඳහා දේශපාලන ආරම්භකත්වය ඉදිරියට ගෙන ගියේය.

“කම්කරු පන්තිය තුල මුල් බැසගත් විප්ලවවාදී පක්ෂයක් නොමැතිව මහජන ව්‍යාපාරවලට ජයගන්න බෑ. 2011 ඊජිප්තු නැගිටීම, ශ්‍රී ලංකාවේ මහජන නැගිටීම සහ දැන් බංග්ලාදේශයේ සිදුවෙමින් පවතින අරගලය පිලිබඳ විශිෂ්ටතම පාඩම මේක යි. මෙම පාඩම ජනතාව අතරට ගෙන ඒම සඳහා අපි අපගේ මැතිවරන ව්‍යාපාරය උපයෝගී කර ගන්නවා” යනුවෙන් සසප අපේක්ෂකයා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ (ජාජබ) අපේක්ෂක අනුර කුමාර දිසානායක, ඔවුනට ජනතාව සමඟ ගිවිසුමක් ඇතැයි ප්‍රකාශ කල බව විජේසිරිවර්ධන පැවසීය. “කෙසේ වෙතත්, දිසානායක ම ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ තම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම දිගටම පවත්වාගෙන යන බවයි. මෙයින් පෙනී යන්නේ, ‘ජනතාව සමඟ ගිවිසුමක්’ ගැන ජවිපෙ/ජාජබ නායකයාගේ කතාව අමූලික බොරුවක් බවයි. ඔවුන් ඇත්ත වශයෙන්ම ගෙන සිටින්නේ, වැඩකරන ජනතාවට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ පැත්තයි.”

ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී ජනරජයක් සඳහා පක්ෂයේ උද්ඝෝෂනය, සමාජවාදය සඳහා වන පුලුල් ජාත්‍යන්තර අරගලයේ කොටසක් බව සසප අපේක්ෂකයා පැහැදිලි කලේය. සසප ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව තම පන්ති සහෝදර සහෝදරියන් සමග ඒකාබද්ධ වන ලෙසත්, දිවයිනේ ක්‍රියාකාරී කමිටුවලට, ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට (කක්‍රික-ජාස) සම්බන්ධ වන ලෙසත් ඉල්ලා සිටී.

මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙසත්, පක්ෂ මැතිවරන ව්‍යාපාරයට සහය පල කරන ලෙසත්, ඊට සහභාගී වන ලෙසත්, වඩාත් වැදගත් ලෙස, එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැගීමට සසපට බැඳෙන ලෙසත්, කම්කරුවන්, තරුනයින් හා ගම්බද දුගී ජනයාට ආරාධනා කරමින් විජේසිරිවර්ධන සිය කතාව අවසන් කලේය.

Loading