සසප මැතිවරන උද්ඝෝෂනය: හලාවත ධීවර ජනයා ප්‍රධාන ධනපති පක්ෂවල බොරු මැතිවරන පොරොන්දු පිලිකුලෙන් බැහැර කරයි

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ ධීවර ගම්මාන කිහිපයක ධීවර ජනයා සමග සසප සාමාජිකයෝ පසුගිය දිනවල සාකච්ඡාවන්හි නිරත වූහ.

අන් සියලුම පක්ෂවලට සපුරාම වෙනස් ලෙස සසප මෙම ජනාධිපතිවරන උද්ඝෝෂනය යොදාගෙන ඇත්තේ, කම්කරු පංතියේ විඥානය ඉහලට ඔසවමින් එම පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ මාධ්‍යයක් ලෙසිනි.

කම්කරු පංතිය තම අවශ්‍යතා සඳහා ගෙනයන සෑම සටනක්ම, වෘත්තීය සමිති නිලධරයෙන් තම අතට ගතයුතු බවත්, ඒ සඳහා ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනවූ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙමින් එවන් කමිටු ජාලයක් ගොඩනැගීමට සසප ගෙනයන අරගලය ජනාධිපතිවරනය තුල වඩාත් තීව්‍ර කිරීම මෙම උද්ඝෝෂනයේ ප්‍රධාන අරමුනකි.

සසප දේශපාලන මගපෙන්වීම යටතේ, දැනටමත් උතුරේ ධීවරයන්, වතුකරයේ කම්කරුවන්, ගම්බද ගොවීන්, සෞඛ්‍ය සේවකයන් සහ ගුරුවරුන් අතර ක්‍රියාත්මක ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ඇත. ඒවායේ වැඩකටයුතු පුලුල් කරගැනීමටද සසප මැතිවරන උද්ඝෝෂනය පුරා ක්‍රියාශීලිව නියැලී සිටී.

සසප උද්ඝෝෂනයේ කේන්ද්‍රීය කාරනාවක් ලෙස ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් යුක්‍රේනය මැදි කරගෙන රුසියාවට එරෙහිව ගෙනියන යුද්ධයත්, ගාසාව මැදි කරගෙන මැදපෙරදිග අවුලුවා ඇති යුද්ධයත් සම්බන්ධයෙන් මෙන්ම චීනයට එරෙහිව සූදානම් කෙරෙන යුද මූලෝපායික වැඩ කටයුතු සම්බන්ධයෙන් ද සුවිශේෂී අවධානය යොමු කර ඇත. පෙරමුනු තුනකින් වඩෙන යුද්ධය න්‍යෂ්ටික ලෝක යුද්ධයක් දෙසට වේගයෙන් වැඩෙනු ඇත. එය නවතාලීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙතක් මත සටන් වදින ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ උද්ඝෝෂනය ප්‍රබල අන්දමින් ඉදිරියට ගැනෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වැඩපිලිවෙල මගින් ගොවියන් සහ ධීවරයන් ඇතුලු ගම්බද දුගීන් ද නයගැතිභාවයට ඇද දමා තිබේ. මෙම ජන කොටස්වලට එරෙහි ප්‍රහාරය, වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු ධනපති පාලක පන්තිය විසින් කම්කරු-පීඩිත මහජනතාව වෙත එල්ල කර ඇති සමස්ත ප්‍රහාරයේ කොටසක් බව සසප උද්ඝෝෂකයෝ ධීවරයන්ට පැහැදිලි කලහ.

සසප මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සැප්තැම්බර් 11දා හලාවත නගරයේ පැවැත්වීමට නියමිත ප්‍රසිද්ධ රැස්වීමද ඉලක්ක කරගනිමින් සසප සාමාජිකයෝ සසප ජනාධිපතිවරන ප්‍රකාශය අත්පත්‍රිකාවක් ලෙස බෙදා හරමින් මහජනයා අතර දේශපාලන සාකච්ඡාවක් අවුලුවා ගැනීමේ වෑයම නිරත වූහ. ප්‍රදේශයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ධීවර වෘත්තීයේ නියැලෙන අතර ඔවුන් අතරින් සසප ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවෙලට ලැබුනේ, උනන්දු සහගත ප්‍රතිචාරයකි.

පසුගිය දශක කිහිපය තුල මහජනයා මත ප්‍රහාර එල්ල කොට, යලි බලයට ඒමට පොරකන ප්‍රධාන ධනපති පක්ෂවල අපේක්ෂකයන් මහජන ගැටලු විසඳනවා යයි ලබා දෙන බොරු මැතිවරන පොරොන්දු එම ඡනයා පිලිකුලෙන් යුක්තව හෙලා දුටුවෝය.

හලාවත වැල්ල කුඩා බෝට්ටු ධීවරයෝ වැඩි වශයෙන් හුරුල්ලා, සාලයා වැනි මාලු ඇල්ලීමේ නිරත වෙති. එම ධීවරයන් සඳහන් කල තොරතුරුවලට අනුව එක් දිනකට රැකියාවේ නිරත වීමට භූමිතෙල් ලීටර් 30 ක් පමන අවශ්‍ය කෙරේ. මේ වන විට භූමිතෙල් ලීටර්යක මිල රුපියල් 205 කි. රුපියල් 3600 ක එන්ජින් ඔයිල් අවශ්‍ය වේ. බෝට්ටුවේ ගමන් ගන්නා දෙදෙනෙකුට කෑම වියදම් සමග එක් දිනක මුලු වියදම රුපියල් 12,000 ක් පමන වේ. මීට අමතරව සතියකට වරක් දැල් ඉරුම් බැඳීමට රුපියල් 1200ක නූල් අවශ්‍ය කරයි. දැල් යාරයක් රුපියල් 500ක් වන අතර සතියකට දැල් යාර 10 පමන අවශ්‍ය වේ.

ජූඩ් ප්‍රනාන්දු

හලාවත වැල්ල කුඩා බෝට්ටු ධිවරයෙක් වන ජූඩ් ප්‍රනාන්දු මෙසේ විස්තර කලේ ය. “මෙහෙම වියදම් කරලා රස්සාවට ගිහින් ගෙදර හොද්දට මාලු නැතුව ආපසු එන දවසුත් තියෙනවා. තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා බෑ. දැනට මාස 2 ට කලින් භූමිතෙල් ලීටරය රුපියල් 300ත් වැඩියි. ඒ දවස්වල දිනකට රුපියල් 18,000 ක් විතර වැය වුනා. මම රුපියල් ලක්ෂ තුන හමාරක් නය වෙලා ඉන්නේ”.

පසුගිය වසර කිහිපය තුල ඩීසල් මිල තුන් ගුනයකින් පමන ඉහල ගිය බව පැවසූ ජූඩ් ධීවර උපකරනවල මිල ගනන් ද දැවැන්ත ලෙස ඉහල ගොස් ඇති ආකාරය විස්තර කලේ ය. “බෝට්ටුවක් රුපියල් හාරලක්ෂ අසූදාහයි. දැල් කුට්ටමක් ලක්ෂ පහයි. එන්ජිමක් ලක්ෂ දහයයි. බෝට්ටුවේ පොඩි අලුත්වැඩියාවකට ලක්ෂයක්වත් යනවා. මේ තත්වය දුප්පත් ධීවරයන්ට දරා ගන්න බෑ. ධීවර වෙලෙන්දෝ, මුදලාලිලා, සමාගම් හිමියෝ ඉස්සරහට යනවා. අපි ජීවිත පල්ලෙහාට යනවා”.

ස්වභාවික කලපු හා බොකුවලට අමතරව, රටපුරා වෙරල තීරය තුල කුඩා ධීවරයන් සඳහා වරාය හා නැංගුරම් තොටුපලවල පහසුකම් අතිශය දුර්වල මට්ටමක පවතී. තම දරු පවුල් ජීවත් කරවීම සඳහා අඩු පහසුකම් යටතේ වාරකන් (මුහුද සැර) කාලයේ රැකියාවට ගමන් කිරීමෙන් ධීවරයෝ ජීවිත අවධානමට ද හදිසි අනතුරුවලට ද මුහුනපාති.

හලාවත වැල්ල මෝය කටේ බෝට්ටු පෙරලීමෙන් ධීවරයන් කිහිප දෙනෙකු මිය යෑමේ සිද්ධි පසුගිය වසර කිහිපයේ ම වාර්තා වී ඇත. ධනපති අපේක්ෂකයන්ගේ කප්පරක් පොරොන්දු “තනිකරම බොරු” යැයි පිලිකුලෙන් බැහැර කල තරුන ධීවරයෙක් වන වන සුමිත් මෙසේ ප්‍රකාශ කලේ ය. “මාස දෙකකට කලින් සුනිල් කියලා ධීවරයෙක් මෝය කටේ බෝට්ටුව පෙරලිලා මැරුනා. අවුරුද්දකට සැරයක් ධීවර සංස්ථාවේ බෝට්ටුව රක්ෂනය කරනවා. නමුත් කිසිම වන්දියක් නෑ. සුනිල්ගේ මල සිරුර හොයන්න කිමිදුම්කරුවන්ට වියදම් ධීවරයන්ට දරන්න කිව්වා. අනතුරුවලින් කැඩෙන බෝට්ටු අපිම හදා ගන්න ඕන. මේ අවුරුද්දේ 10 වතාවක් විතර කුනාටුවලට අපි මුහුන දුන්නා”.

තවත් කිහිප දෙනෙකුගේ සහයෙන් පවත්වාගෙන යන සුළු පරිමාන කරවල වාඩියක්

වැන්දඹු කාන්තාවක් වන නිමාලනී සුළු පරිමාන කරවල වාඩියක් පවත්වාගෙන යන්නේ තවත් කිහිප දෙනෙකුගේ සහයෙනි. විශාල කායික ශක්තියක් මෙන්ම විශාල කාලයක් වැයකල යුතු මෙම කටයුත්තෙන් ඇයට ලැබෙන්නේ සොච්චම් ලාභයකි. හුරුල්ලා, සාලයා වැනි මාලු පැය දෙකක් පමන ලුනු භාජනවල දමා දින දෙකක් අව්වේ වේලා ගැනීමෙන් කරවල නිපදවා ගනී. මාලු කිලෝ 100 න් කරවල නිපදවා ගත හැක්කේ කිලෝ 50 ට ආසන්න ප්‍රමානයකි. රුපියල් 380 කට මිලදී ගන්නා හුරුල්ලා කිලෝව, කරවල කර රු.900 ට පමන විකුනා ගත හැකි ය.

නිමාලනි මෙසේ විස්තර කලා ය: “මේ වැඩෙන් ලොකු ලාභයක් නැහැ. රු.1800 ට තිබුන කිලෝ 45 ලුනු මිටිය දැන් රු.2600 යි. ආදායම රු.10,000 ක් ලැබුනොත් ලුනු වියදම් ඇරලා ඉතුරු වන එකෙන් එක් සේවකයෙකුට පඩි දිනකට රු.1500 ක් ගෙවලා ඉතුරු වෙන එක මම ගන්නවා. කරෝල වෙලෙන්දො හෙට්ටු කරලා මිල බස්සලා අපෙන් ගන්නේ. තියාගෙන තවත් පාඩු විදින්න බැරි නිසා විකුනලා දානවා”.

අවුරුදු 66ක් වයසැති නිලානි ප්‍රනාන්දු

අවුරුදු 66ක් වයසැති ඩබ්ලිව්. නිලානි ප්‍රනාන්දු කරවල සැකසීම සඳහා නිමාලනීට සහාය වන්නී ය. “මාලු ගොඩක් ලැබුනොත් රු.2000 ක් විතර ලැබෙනවා. නැත්නම් ලැබෙන්නේ රු.1000 ක් 500ක්. මගේ සැමියා ජීවතුන් අතර නෑ. දරුවන් විවාහ වෙලා. දරුවන්ට මට උදව් කරන්න බෑ. ඒ අය මට වඩා අමාරුවෙන් ජීවත් වෙන්නේ. රජයෙන් දෙන රු.250 ක පිංපඩිය හැර වෙනත් කිසිවක් මට ලැබෙන්නේ නෑ. මෙතන උදව් උනාම ලැබෙන සුළු මුදලින් වේල පිරිමහ ගන්නවා. ලෙඩක දුකකදී බෙහෙත් ගන්නවා. මම අස්වැසුම (සහනාධාරය) ලබා ගන්න හතර පාරක් රස්තියාදු වුනා. නමුත් මට දුන්නේ නෑ” යයි කියා සිටි නිලානි ධනපති පක්ෂවල මැතිවරන පොරොන්දු හෙලා දැක්කා ය.

2012 දී මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් තෙල් මිල ඉහල දැමීමට එරෙහිව හලාවත ධීවරයන් පැවැත්වූ විරෝධතාවයකට එල්ල කල පොලිස් වෙඩි ප්‍රහාරයකින් එම වසරේ පෙබරවාරී 15 දා හලාවත වැල්ල පදිංචි ඇන්ටනි ප්‍රනාන්දු ඝාතනය කෙරුනු අතර තවත් කිහිප දෙනෙකුට බරපතල තුවාල සිදු කෙරුනි. මේ පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල ලිපියට.

මැතිවරන උද්ඝෝෂනය අතරතුර ඇන්ටනිගේ නිවසට ගිය සසප සාමාජිකයන්ට එම පවුල මුහුන දෙන දුෂ්කර කොන්දේසි පිලිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට ලැබිනි. ඇන්ටනි ඝාතනය හේතුවෙන් අනාත වූ දරුපවුල වෙනුවෙන් ආන්ඩුවෙන් හා විවිධ පාර්ශ්වවලින් ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 8 ක පමන සොච්චම් වන්දි මුදලක් පමනි.

මේ වන විට විවාහක එක්දරු මවක් වන ඇන්ටනි ප්‍රනාන්දුගේ වැඩිමහල් දියනිය නිපුනි ප්‍රනාන්දු සසප උද්ඝෝෂකයන්ට කීවේ එම වන්දි මුදල් වියදම් නොකර අනාගතයේදී ගැනීම සඳහා ඉතුරු කල බවයි. “මම සාමාන්‍ය පෙලට ඉගෙන ගෙන අම්මා එක්ක කටුනායක ඩයල්ටෙක්ස් ගාර්මන්ට් එකේ වැඩට ගියා. මාසික පඩිය විදියට ලැබුනේ රු.28,000 යි” ඇය කීවාය. පසුව තවත් ෆැක්ටරියක වැඩට ගිය ඇය විවාහයෙන් පසු රැකියාවෙන් අස්වී ගෙදර නැවතී ඇත.

සිය පියාගේ ඝාතනය මේ වනවිට මුලුමනින්ම යට ගසා ඇති බව ඇය ප්‍රකාශ කලා ය. “දැන් ඒ ඝාතන ගැන කතා කරන්න කව්රුත් නෑ. ඡන්දය ඉල්ලන්න ඒ කාලේ ආවා. දැන් ධීවරයන්ගේ ප්‍රශ්නත් වැඩි වෙලා. හැම අපේක්ෂකයෙක් ම බොරුවට මහජනයාගේ ප්‍රශ්න ගැන කියනවා විතරයි. විසඳුම් නෑ”.

ගැඹුරු මුහුදේ ටූනා (කෙන්දා) මසුන් මැරීමේ නිරත බහුදින යාත්‍රා ධීවරයන් සමග ද සසප උද්ඝෝෂකයෝ සාකච්ඡාවේ නිරත වූහ. එම මසුන් අඩු මිලට මිලදී ගන්නා මහ පරිමාන මාලු සමාගම් ඇමරිකානු හා යුරෝපා රටවල වෙලඳපල වෙත අපනයනය කිරීමෙන් දැවැන්ත ලාභ උපයති. බහුදින යත්‍රාවල සේවය කරන ධීවරයන්ට ආදායම් ලැබෙන්නේ, මුලු වියදම් හැර ලැබෙන ලාභයෙන් හරි අඩක් යාත්‍රා හිමිකරුට වෙන් කිරීමෙන් පසු ඉතිරි අඩ කොටස්වලට බෙදා ගැනීමෙනි.

ඉන්ධන හා ධීවර උපකරනවල මිල ඉහල යෑමෙන් හා හිතාමතා මාලු මිල පහල දැමීමෙන් බහුතරයක් බහුදින ධීවරයන් ද නය ගැතිභාවයට ඇද දමා තිබේ.

හලාවත තොඩුවාවේ පදිංචි බහුදින යාත්‍රා ධීවරයන් වන මර්වින්, ප්‍රියන්ත හා මැල්කම් පසුගිය වාර කිහිපයේම රස්සාවෙන් පාඩු ලැබූ බව ප්‍රකාශ කලහ. මර්වින් මෙසේ විස්තර කලේ ය. “අවුරුදු 5ට කලින් ඩීසල් මිල රුපියල් 104 යි. දැන් 316 යි. අප්‍රේල් මාසේ 363 ක් වුනා. අන්තිම වතාවේ අපිට මූදු යන්න, සේවකයන්ට ආහාර ඩීසල් අයිස්, බීමට ජලය, ගෑස්, ඇතුලු වියදම රුපියල් ලක්ෂ 55 ක් වුනා. නමුත් මාලුවලින් ලැබුනේ ලක්ෂ 39 යි. පාඩුව ලක්ෂ 16 යි. සමහර මාලු කිලෝව රුපියල් 800ටත් ගත්තා. රතුපාට මාලු 2900ට ගියා. වියදමත් වැඩියි. මාලු මිල පහල දැමීමත් අපිට බලපානවා. බිරිඳගේ රත්තරන් බඩු උකස් කරලා ගෙදර කෑමට සල්ලි හොයා ගත්තේ”.

ඉන්ධන පහල හෙලීම ඇතුලු ගැටලු විසඳන්නැයි ධීවර වෘත්තීය සමිති විසින් ඉදහිට සිදු කරන වඳ විරෝධතා මගින් ධීවරයන්ගේ කිසිදු ගැටලුවක් විසඳී දී නැති බව ධීවරයෝ ප්‍රකාශ කලහ.

ධනපති ක්‍රමයේ ප්‍රහාර පරාජය කිරීමට මෙම ජන කොටස් සමාජයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය වටා බලමුලු ගැන්වීමේ අවශතාව මෙන්ම ලංකාවත් ඇතුලු ලෝක ධනේශ්වර ක්‍රමයේ ගැඹුරුවන අර්බූදය යටතේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැඳීමේ අවශ්‍යතාවය ගැන සසප සාමාජිකයෝ මෙම ධීවරයන් සමග සාකච්ඡා කලහ.

දෙස් විදෙස් මහ ධනපති පන්තියේ ලාභ අවශ්‍යතා සඳහා කැප වුන තවත් ධනපති ආන්ඩුවකින් පීඩිත මහජනයාගේ කවර ප්‍රශ්නයකට හෝ විසඳුම් නොලැබෙන බව සසප සාමාජිකයෝ ඔවුන්ට පෙන්වා දුන්හ. කම්කරුවන්ගේ සහ ධීවරයන් ඇතුලු ගම්බද දුගීන්ගේ දැවෙන ප්‍රශ්න විසඳිය හැක්කේ, දැවැන්ත මත්ස්‍ය සමාගම්, ධීවර යාත්‍රා සමාගම් ඇතුලු මහා බැංකු, ව්‍යාපාර, කම්හල්, වතුයායයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජන සතු කෙරෙන හා විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කෙරෙන කම්කරු-ගොවි ආන්ඩුවකට සටන් වැදීමෙන් පමනි.

කම්කරුවන් හා ගොවීන් මෙන්ම ධීවරයන් ද තම ප්‍රශ්න විසඳාගැනීම සඳහා සටන් කිරීමට ධනපති ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. මෙම ක්‍රියාකාරී කමිටුවල සහ අවශේෂ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප සටන් වදී. එය ගොඩනැගෙනුයේ, ධනපති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ධනපති පාර්ලිමේන්තුවට මුලුමනින්ම විපරීත වූ, ගම්බද දුගීන් රැලිකරගත් කම්කරු පංතියේ බල කේන්ද්‍රයක් ලෙසිනි.

රැකියාවේ පවතින දුෂ්කරතා නො තකා සසප හලාවත සාමාජිකයන් සමග සාකච්ඡා ඉදිරියට ගෙන යෑමටත්, අවශේෂ ධීවරයන්ගේ හා තරුනයන්ගේ සහයෝගය ගොනු කරමින් ධීවර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමටත් සාකච්ඡාවලට සම්බන්ධ වූ ධීවරයෝ සිය උනන්දුව හා පක්ෂපාතීත්වය පල කලෝය.

Loading