තුන්වන ලෝක යුද්ධයක තර්ජනය ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෝ මුනිවත රකිති

[මෙය Sri Lankan presidential candidates silent over the threat of WWII යන මැයෙන් 2024 සැප්තැම්බර් 10 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්—ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) අනුර කුමාර දිසානායක—ව්‍යාජ සහ අසීමිත මැතිවරන පොරොන්දු දී ඇත. කෙසේ වෙතත්, ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයක උත්සන්න වන අන්තරාය පිලිබඳව ඔවුන් මුලුමනින් ම නිහඬ ය.

2023 පෙබරවාරි 4 සෙනසුරාදා කොලඹ දී පැවති 75වැනි නිදහස් දින සැමරුමේ දී, ගුවන් හමුදාපි එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන (පිටුපස වමේ) හා පොලිස්පති චන්දන වික්‍රමරත්න (දකුනේ) සමග පෙනී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ලෝක යුද්ධයක් ඇතිවීම සැබෑ තර්ජනයක් ලෙස මතුවී ඇත.. ඊශ්‍රායලයේ ෆැසිස්ට් තන්ත්‍රය, වොෂින්ටනයේ සහ එහි යුරෝපීය නැටෝ සහචරයින්ගේ පූර්න පිටුබලය ඇතිව, දැන් ගාසා තීරයේ පලස්තීනුවන් නිර්දය ලෙස ඝාතනය කිරීම බටහිර ඉවුර දක්වා ව්‍යාප්ත කර ඇති අතර, සමස්ත මැද පෙරදිගම ගිල ගන්නා ඉරානය සමග යුද්ධයකට තර්ජනය කරයි.

යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, දැන් එහි තුන්වන වසරට එලැඹෙමින් පවතින අතර, එක්සත් ජනපදය සහ යුරෝපීය බලවතුන් විසින් සපයනු ලබන දිගු-දුර අවි, යුක්‍රේනය රුසියානු භූමිය ආක්‍රමනය කිරීම සඳහා භාවිතා කරනු ලැබේ. රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල නැටෝ හමුදා සෘජුව ම යෙදවීම පිලිබඳව ඉහල මට්ටමේ සාකච්ඡා සිදුවෙමින් පවතී. මෙම න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ජාතීන් අතර සෘජු ගැටුමක්  පැනනැගීමේ හැකියාව නොතකා හල නොහැක.

ආසියාව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රමුඛතම අරමුන වන්නේ, එහි ප්‍රධාන ප්‍රතිමල්ලවයා ලෙස සලකන චීනය යටත් කර ගැනීමයි. චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි බලගැන්වීම හා සන්ධාන ශක්තිමත් කිරීම වේගවත්ව ඉදිරියට යද්දී, තායිවානයේ සහ දකුනු චීන මුහුද තුල ප්‍රකෝපකරනයන් ට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා චීනය පොලඹවා ගැනීම  වොෂින්ටනය සැලසුමයි .

මෙම බරපතල වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂවල නිහඬතාවය අහම්බෙන් සිදු වූ මගහැරීමක් නොව, ජනතාව අඳුරේ තබමින් ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්ති වසන් කිරීමට හිතාමතා ක්‍රියා කිරීමකි.  

සියලුම ධනේශ්වර පක්ෂ අපේක්ෂකයින්ට ප්‍රතිපක්ෂව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන, ගෝලීය යුද්ධයට එරෙහි සටන පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයේ කේන්ද්‍රීය අක්ෂය බවට පත් කරගෙන තිබේ. ජාත්‍යන්තරව අපගේ සහෝදර පක්ෂ සමග එක්ව, ලෝක යුද්ධය වැලැක්වීම සඳහා සමාජවාදී මූලධර්ම මත පදනම් වූ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහි ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ ගෙනයන අරගලය, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන සමග සමීපව බැඳී තිබේ. සසප මැතිවරන ප්‍රකාශය යුද්ධයට, සමාජ අසමානතාවයට හා ආඥාදායකත්වයට එරෙහිව සමාජවාදය සඳහා වන අරගලය මත කේන්ද්‍රගත වන්නේ එබැවිනි.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, ශ්‍රී ලංකාවට ප්‍රධාන නය දෙන්නෙකු වන චීනය සමග සබඳතා පවත්වා ගැනීමට උත්සාහ කරන අතරම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ එහි ප්‍රධාන කලාපීය සහචරයා වන ඉන්දියාවේ භූදේශපාලනික කූටෝපායන්ට ප්‍රසිද්ධියේ මෙන්ම රහසිගතව ද සහාය දී ඇත. එහෙත් වොෂින්ටනය, චීනයට එරෙහි සිය ආක්‍රමනශීලී ක්‍රියා තීව්‍ර කරන තතු තුල මෙම තුලනය කිරීමේ පිලිවෙත වඩ වඩාත් කල නොහැක්කක් බවට පත් වෙමින් පවතී.

වික්‍රමසිංහ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල, විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ කිසිවක් සඳහන් කර නැත.  එහෙත් ඔහුටත් සහ ඔහුගේ පරඬැල් එක්සත් ජාතික පක්ෂයටත්  වොෂින්ටනයට දීන ලෙස ගැතිකම්  කිරීමේ දිගුකාලීන වාර්තාවක් ඇත. බීජිනය වෙත  නැඹුරුව සිටි  ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැරීමටත්, කොලඹ විදේශ ප්‍රතිපත්තිය එක්සත් ජනපදයට පක්ෂව මාරු කිරීමටත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව  විසින් සම්බන්ධීකරනය කෙරුනු 2015 පලන තන්ත්‍රය මාරු කිරීමේ මෙහෙයුමට වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ ප්‍රධාන කොටස් සමග එක්ව ඍජුව ම සහාය දුන්නේය.

සජබ නායක ප්‍රේමදාසගේ මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාශ කරන්නේ, “ඉන්දියන් සාගරය තුල රීති-පාදක පර්යායක් ඇති කිරීම, ඉන්දියානු සාගර කලාපයේ ජනතාවගේ  යහපතට” හේතු වන බවයි. “රීති-පාදක පර්යායක්”යනු හුදෙක් චීනයේ ආර්ථික නැග්ම අවුල් කිරීමට තර්ජනය කෙරන රීති මත පාදකව, පශ්චාත්-දෙවන ලෝක යුද පිලිවෙත පවත්වා ගැනීම කේන්ද්‍ර කරගෙන වොෂින්ටනය ගෙනයන ප්‍රචාරයේ හුදු පුනරුච්චාරනයක් පමනි..

ජවිපෙ/ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉන්දියාවට සහාය දැක්වීම ගැන විවෘතව ම සඳහන් කරමින්, පක්ෂය “ඉන්දියාව ඇතුලු කලාපයට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ගොඩබිම, අහස හෝ මුහුද” භාවිතා කිරීමට ඉඩ නොදෙන බව පවසයි. චීනය මිලිටරිමය වසයෙන් වැටලීමේ දී එක්සත් ජනපදයේ තීරනාත්මක මූලෝපායික හවුල්කරුවෙකු වන ඉන්දියාව සමග ජවිපෙ පෙලගැසී සිටී. ජවිපෙ නායකයින් පසුගිය දෙවසර තුල ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චංග් සහ එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ රහසිගත රැස්වීම් කිහිපයක් පවත්වා ඇත.

2023 ඔක්තෝබර් 19 වන දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමක දී, වමේ සිට, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන්, තානාපති ජුලී චංග්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්. [ඡායාරූප: X/Twitter @anuradisanayake] [Photo: X/Twitter @anuradisanayake]

වික්‍රමසිංහ ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති පිලිවෙත ඉහලින්ම කැපී පෙනෙන ලෙස හෙලිදරව්වූ අවස්ථාවක් වූයේ, වොෂින්ටනයේ 'ඔපරේෂන් ප්‍රොස්පෙරිටි ගාඩියන්' මෙහෙයුමේ කොටසක් ලෙස, මේ වසරේ දී, රතු මුහුදට නාවික යත්‍රා යැවීමෙනි. එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ අරමුන වූයේ, පලස්තීන හිතවාදී හූති කැරලිකරුවන්, ඊශ්‍රායලයට යන නෞකා වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමයි.

මෙයට විරුද්ධ පක්ෂ ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? සජබ නායක ප්‍රේමදාස, රතු මුහුදේ මෙහෙයුමට යන වියදම ගැන කන්කෙඳිරි ගෑ අතර, ජවිපෙ/ජාජබ මෙම අධිරාජ්‍ය ගැති මෙහෙයුම පිලිබඳව කට පියාගෙන සිටියේය.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු එක්සත් ජනපදය සමග—අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම (ඇක්සා) සහ බලකා තත්ව ගිවිසුම (සෝෆා) යන—මිලිටරි ගිවිසුම් අත්සන් කර ඇත.

2007 දී අත්සන් කරන ලද සහ 2017 දී දීර්ඝ කර පුලුල් කරන ලද ඇක්සා ගිවිසුම, ඊනියා මානුෂීය මෙහෙයුම්, ඒකාබද්ධ අභ්‍යාස සහ සාම සාධක මෙහෙයුම් වලදී කලමනාකරන, සැපයුම් සහ සේවා හුවමාරු කර ගැනීමට එක්සත් ජනපදයට සහ ශ්‍රී ලංකාවට ඉඩ සලසයි: ඒ වනාහි ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව තුලට අසීමිතව  ප්‍රවේශ වීමටත් , එහි හමුදා පහසුකම් භාවිත කිරීමටත් ඉඩ සැලසීම යි.

එක්සත් ජනපද රජයේ ආරක්ෂක තාක්ෂනික තොරතුරු මධ්‍යස්ථානයට අනුව, සෝෆා ගිවිසුමකින්  “සාමාන්‍යයෙන් එක්සත් ජනපද හමුදා නිලධාරීන් විදේශ රටක් තුල ක්‍රියාත්මක වන රාමුව ස්ථාපිත කරයි; එනම් විදේශ රටක් තුල සිටින එක්සත් ජනපද නිලධාරීන්ට එම රටෙහි අධිකරන බලයේ දේශීය නීති අදාල වන්නේ කෙසේද යන්නට මෙම ගිවිසුම පිලිතුරක් සම්පාදනය කරයි. ”

1995 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ පාලන සමයේදී පලමු සෝෆා ගිවිසුම අත්සන් කරන ලදී. එක්සත් ජනපදය 2018 සිට, එක්සත් ජනපද හමුදා නිලධාරීන් සඳහා විවිධ “වරප්‍රසාද, වගවීමෙන් නිදහස් කිරීම සහ මුක්තිය” සහිත නව සෝෆා ගිවිසුමක් අත්සන් කිරීමට කොලඹ පාලන තන්ත්‍රයට බල කරමින් සිටී.

එක්සත් ජනපදය හා ඉන්දීය හමුදාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම මෙන්ම, ඉහල පෙලේ එක්සත් ජනපද සහ ඉන්දීය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික රැස්වීම් ද ශ්‍රී ලංකාවේ නිරන්තර සිදුවීම් වේ. මේ වසරේ, කලමනාකරනය සහ සම්පත් පිලිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා සහ දකුනු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිනිය හ.

මෑත දී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද ලංකාවට පැමිනි අතර, වික්‍රමසිංහ සමඟ රහස් සාකච්ඡා පවත්වා තිබේ. ඔවුන් මාලදිවයින සහ මුරිසිය ද ඇතුලත් වන ආරක්ෂක සමුලුවේ ලේකම් කාර්යාලයක් කොලඹ පිහිටුවීම සඳහා ප්‍රඥප්තියකට සහ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එය ඇත්ත වශයෙන්ම ආරක්ෂක ගිවිසුමකි. කොලඹදී, දොවාල්, ප්‍රේමදාස හා දිසානායක සමග ද උතුරේ දේශපාලන පක්ෂ සමග මෙන්ම මධ්‍යම වතුකරයේ දිස්ත්‍රික්කවල වෘත්තීය සමිති නායකයන් සමග ද සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ඇස් වසා අත්සන්කරනු ලබන මෙම ආරක්ෂක ගිවිසුම්—ජාමූඅ හා අනෙකුත් අධිරාජ්‍යවාදී ඒජන්සි සමග ඇතිකර ගන්නා ගිවිසුම් මෙන්ම—ඔවුන්ගේ පන්ති අවශ්‍යතා සමඟ සෘජුව ම ගැටේ.

සසප මෙම එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පිලිවෙත් සඳහා පාලක හා විරුද්ධ පක්ෂවල සහයෝගය හෙලා දකිමින්  ඒවාට විරුද්ධ වන අතර එසේ කරන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී. කම්කරුවන් හා තරුනයන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ දේශපාලන අත්දැකීම් ද ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් මත පදනම් විය යුතුය. දෙවන ලෝක යුද්ධ සමයේදී, ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ එහි ප්‍රධාන මූලෝපායික පිහිටීම නිසා, මිත්‍ර පාක්ෂික අග්නිදිග ආසියානු බල ඇනියේ මූලස්ථානය බවට පත් විය.

ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීහු ඉන්දියාවේ බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පිහිටුවා ගත් අතර, යුද්ධයට විරුද්ධ වෙමින්, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දීය උප මහාද්වීපය පුරා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කලහ. බ්‍රිතාන්‍යයන් ප්‍රතිචාර දැක්වූයේ, ප්‍රමුඛ බීඑල්පීඅයි නායකයින් සිරගත කිරීමෙනි; එහෙත්, පන්ති සවිඥානක කම්කරුවන් මෙම මහා අරගලයට ඔවුන්ගේ සහයෝගය පවත්වා ගෙන ගියහ.

අද උප මහාද්වීපයේ සියලුම ධනේශ්වර පක්ෂවල නායකයන්ගේ මුතුන් මිත්තන් වන ඊනියා ස්වදේශික ධනේශ්වරය 

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සහ එහි වෘත්තීය සමිතිවල පිටුබලය ඇතිව, යටත් විජිත හාම්පුතුන් ඉදිරියේ බඩගාමින්  කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ උර මත යුද්ධයේ බර පැටවීමට උදව් දෙමින් අධිරාජ්‍යවාදී යුද්ධයට සහය දුන්හ. ට්‍රොට්ස්කිවාදියෝ, බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ ගෝලබාලයන් සහ ස්ටැලින්වාදීන්ගේ ද, වෘත්තීය සමිති නිලධරයන්ගේ ද ද්‍රෝහීත්වය හෙලිදරව් කිරීමට ට්‍රොට්ස්කිවාදියෝ සටන් කලහ.

අද ශ්‍රී ලංකාවේ ධනේශ්වරය ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට මුලුමනින්ම යටත් ය. වෘත්තීය සමිති නිලධරයේ පිටුබලය ඇතිව පාලක පන්තිය මෙම කුරිරු කප්පාදු පියවරයන් ක්‍රියාවට නංවයි. ඔවුහු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද න්‍යාය පත්‍රය සමඟ පෙල ගැසෙමින් හා කම්කරුවන් අඳුරේ තබමින්, මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත බිලි දීමට සූදානම්ව සිටිති.

සමාජවාදය මත පදනම් වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මෙම ශ්‍රේෂ්ඨ  ඓතිහාසික සම්ප්‍රදායන් මතකය ට නගා ගනිමින්, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමග එක්වන ලෙස අපි ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. තුන්වන ලෝක යුද්ධයක් සහ න්‍යෂ්ටික වහ්නිජාලාවක් වැලැක්වීමට ඇති එකම මාර්ගය එයයි.

කම්කරුවන් හා තරුනයින් ඉල්ලා සිටිය යුත්තේ:

ඇක්සා සහ සෝෆා වැනි එක්සත් ජනපදය සමඟ ඇති සියලුම රහස් ගිවිසුම් ප්‍රකාශයට පත් කරනු!

අධිරාජ්‍යවාදී බලවතුන් සහ ඉන්දියාව වැනි අනෙකුත් රටවල් සමඟ ඇති සියලුම ආරක්ෂක ගිවිසුම් අවලංගු කරනු!

සමාජවාදී මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයට සම්බන්ධ වී එය ගොඩනගමු!

මෙම ඉල්ලීම්, සසප සහ මෙම මාසයේ මැතිවරනයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන පානි විජේසිරිවර්ධන විසින් ඉදිරියට ගෙන යන විප්ලවවාදී වැඩපිලිවෙලේ වැදගත් අංගයන් වේ.

Loading