අවිශිබමය, ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංවාදයෙන් සමාජවාදී අපේක්ෂක පානි වි‍ජේසිරිවර්ධන බැහැර කරයි

ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) විසින්, ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංවාදයක් මේ මස 12 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සංවිධානය කර තිබුනි.

12 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී අවිශිබමය සංවිධානය කර තිබු ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංවාදය. [Photo: Facebook/IUSF]

සංවාදය නම් කර තිබුනේ “ජනාධිපතිවරනය සහ අධ්‍යාපනයේ හෙට දවස, ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිලිබඳ සංවාදයක්” ලෙසයි. සංවාදයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු 200 ට ආසන්න පිරිසක් සහභාගී වූහ.

කෙසේ නමුත්, ජනාධිපතිවරනයේ එකම සමාජවාදී අපේක්ෂක, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පානි විජේසිරිවර්ධන සංවාදයෙන් බැහැර කිරීමට අවිශිබමය කටයුතු කර තිබුනි. එය, ධනේශ්වර ප්‍රහාරයට ලක්ව ඇති අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සුරක්ෂිත කලහැකි එකම වැඩපිලිවෙල වන ජාත්‍යන්තර සමාජවාදය පිලිබඳ සාකච්ඡාවකට වැට බැඳීමේ අරමුනෙන් ගන්නා ලද දැනුවත් තීන්දුවකි.

මීට පෙර පැවැති ජනාධිපතිවරන දෙකක දී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහ තවත් ව්‍යාජ-වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂයට (එසප) අවිශිබමය අරාධනා කලේ ය. 2015 දී පේරාදෙනිය හා 2019 දී කැලනිය විශ්වවිද්‍යාලයන් හි පැවති එම සංවාදවල දී පෙසප, එසප හා ජවිපෙ වැනි පක්ෂවල නියෝජිතයන් සමාජවාදය නමින් ඉදිරිපත් කල ජාතිකවාදී වැඩපිලිවෙලවල් තියුනු ලෙස ඛන්ඩනය කරමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහාත්, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහාත් සසප ගෙන යන සප්‍රතිපත්තික අරගලය සම්බන්ධව සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධන සිදු කල පැහැදිලි කිරීම් ශිෂ්‍යයන්ගේ ආකර්ෂනය දිනා ගත්තේ ය.

මෙවර සංවාදය සඳහා ආරාධනා කර තිබූ පක්ෂ 8 න් 7 ම ඍජු ධනපති පක්ෂයන් ය. “ස්වාධීන අපේක්ෂක” ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ), පොදු ජන පෙරමුන (පොජපෙ) වැනි ප්‍රධාන ධනපති පක්ෂ ඒ අතර ප්‍රධාන විය. අමතර සිටියේ ව්‍යාජ-වාම පෙසප පමනි.

ජනාධිපති අපේක්ෂකයන් වෙත යැවූ ආරාධනා ලිපියේ නම සඳහන් අවිශිබම ක්‍රියාකාරිකයෙකු වන දිල්ශාන්ගෙන්, සංවාදයට සහභාගිවීම සඳහා තමාට අවස්ථාවක් නො දීම සම්බන්ධව සසප විමසා සිටියේ ය.

ඔහු ඒ සඳහා ව්‍යාජ හේතු ගනනාවක් මතු කර සිටියේ ය. “සංවාදයට ආරාධනා කිරීම වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ තීන්දුවක්, අධ්‍යාපනය සම්බන්ධ මේ ගොඩක් අපේක්ෂකයන්ගේ වෙනසක් නැති බව පෙන්වීමට තමයි අවශ්‍ය වුනේ. දේශපාලන අරමුනක් වෙනුවෙන් නොවේ සංවිධානය කලේ, ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපේ යුතුකමක් විදිහටයි විවාදය සංවිධානය කලේ” වැනි කරුනු ගනනාවක් ඒ අතර විය.

ආරාධනා ලැබ සිටින සියලු අපේක්ෂකයන් ධනපති වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන බව සසප කල ප්‍රකාශයට පිලිතුරු වශයෙන් ඔහු මෙසේ කියා සිටියේ ය: “සමාජවාදය කියලා අපිට වෙනම ප්‍රවර්ධනය කරන්න අවශ්‍ය නෑ. ඒක ශිෂ්‍යයෝ තීරනය කරයි”.

ඇත්ත වශයෙන්ම, අවිශිබම හා පෙසප ට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙල හා එහි දැවෙන අවශ්‍යතාවය මුලුමනින්ම යට ගසා ධනපති ආන්ඩුවල අධ්‍යාපන කප්පාදුව ශිෂ්‍ය විරෝධතා තුලින් නතර කල හැකිය යන ව්‍යාජ-වාම විරෝධතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි.

සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ආරාධනා නො කිරීම, පෙසප හා අවිශිබමයේ එම ධනපති ගැති දේශපාලනයෙන් ගලා එන්නකි. විජේසිරිවර්ධනට ආරාධනයක් සිදු කලා නම් ධනපති පක්ෂවල මෙන්ම පෙසප, අවිශිබමය හා ඔවුන් සන්ධානගත වී සිටින කම්කරු පන්තියේ සටන් පාවා දෙන වෘත්තීය සමිති නායකත්වයේ ක්‍රියාකලාපය සම්බන්ධව සිදු කෙරෙන හෙලිදරව් කිරීම් එම වැඩකටයුතුවලට බාධාකාරී යයි අවිශිබමය හා පෙසප ගනන් බලා තිබේ.

සමාජවාදය ඈත අනාගතයට පවරමින්, සිදු කල යුත්තේ “මහජන කවුන්සිල” ගොඩනගා ගනිමින් සහන පතා ධනපති පාර්ලිමේන්තුවට පීඩනය යෙදීම බව පෙසප කියා සිටී.

2024 පෙබරවාරි 5 වන දින අවිශිබම නිලධාරීන් සජබ නායක සජිත් ප්‍රේමදාස (ඉහල මැද) හමුවෙයි [ඡායාරූපය: ෆේස්බුක්/අවිශිබම] [Photo: Facebook/IUSF]

අවිශිබමය මෙම ක්‍රියාමාර්ගය අකුරට ක්‍රියාවේ යොදවා තිබේ. වික්‍රමසිංහ ආන්ඩුවේ අධ්‍යාපනය පෞද්ගලීකරනයට, ශිෂ්‍ය මර්දනයට, ප්‍රති-ත්‍රස්ථ පනත සහ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත වැනි මර්දන අනපනත් වලට එරෙහිව “ඒකාබද්ධව සටන් කිරීමේ” කඩතුරාව යටතේ අවිශිබමය පසුගිය කාලපරිච්ඡේදය පුරා විපක්ෂයේ සජබ, ජවිපෙ, ශ්‍රීලනිප ඇතුලු ධනපති පක්ෂ කිහිපයක් සමග සාකච්ඡාවලට බඩගෑවේ ය. අඛන්ඩව ඉදිරියට යන්නේ එම වැඩපිලිවෙලයි.

ශිෂ්‍යයන්, තරුනයන් මෙම ධනපති වැඩපිලිවෙලින් කැඩීගත යුතු ය. ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමෙන් අධ්‍යාපන ඇතුලු මහජන අයිතිය දිනා ගත නො හැකි බව අවිශිබමයේ විරෝධතා දේශපාලනය මගින් සනාථ වී ඇත. ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය යටතේ මහජනතාවට අත්කර දී තිබෙන්නේ යුද්ධය, පාරිසරික විනාශය, වසංගත, කප්පාදුව හා සමාජ කාලකන්නිභාවය පමනි.

සමාජයේ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලුමුලු ගැන්වී කම්කරු පන්තියේ ස්වාධීන, සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙරට එන්නැයි සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ශිෂ්‍යයන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

මෙවර ජනාධිපතිවරනයේ සසප වැඩපිලිවෙල අධ්‍යනය කරමින් සෑම විශ්වවිද්‍යාලයක් තුලම සසජාතශි ශාඛා ගොඩ නැගීමට පෙරට එන්නැයි අපි ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

සංවාදයේ දී ප්‍රශ්නෝත්තර වට සඳහා ඉතිරි වූයේ පෙසප යේ පුබුදු ජයගොඩ, පොජපෙ හි මිලින්ද රාජපක්ෂ, සජබ නියෝජනය කල විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන මහීම් මෙන්ඩිස් හා දිලිත් ජයවීරගේ නියෝජිතයා පමනි. සංවාදයට ජාජබ, සරත් ෆොන්සේකා හා රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ අතර ඒ වෙනුවෙන් එම පක්ෂවල ඔවුනගේ නියෝජිතයෙකු හෝ ඉදිරිපත් කර නො තිබුනි.

ධනපති පක්ෂවල නියෝජිතයන් නිදහස් අධ්‍යාපන කප්පාදුව සම්බන්ධ තම වගකීම මුලුමනින්ම යට ගසමින් ඉදිරියේ දී තම ආන්ඩුවක් යටතේ “අධ්‍යාපනය නගා සිටුවීමට ප්‍රතිපාදන වෙන් කිරීම, නව තාක්ෂනය යොදා ගැනීම, වෘත්තීය පාඨමාලා ආරම්භ කිරීම, ආර්ථිකය වර්ධනය කිරීම හා සමාජ සමානතාවය ඇති කිරීම” සම්බන්ධ බොරු පොරොන්දු ගනනාවක් ඉදිරිපත් කලේ ය.

නමුත්, මේ සියලු පක්ෂ මේ වතාවේදීත් බලයට ඒමට පොරකන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගවලට අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධාන වියදම් තවදුරටත් කප්පාදු කරමින්, අධ්‍යාපනය පෞද්ගලීකරනය වේගවත් කරමින් ගැඹුරු වන ලෝක ධනේශ්වර ක්‍රමයේ බර මහජනතාවගේ කර මත පැටවීමටයි.

1970 ගනන් අගභාගයේ සිට පලමුව ජවිපෙ අන්ඩක් ලෙසත් දැන් පෙසප යටතේත්, අවිශිබම විරෝධතාවල නියැලී ඇතැත්, අඛන්ඩව සිදු කරන මෙම කප්පාදුව නතර කිරීමට එය සමත් වී නැත. අනුප්‍රාප්තික ආන්ඩු ගෙනගිය කප්පාදු හේතුවෙන්, රාජ්‍ය අධ්‍යාපන වියදම මේ වන විට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 ටත් වඩා අඩු මට්ටමකට පහත හෙලා තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ගම්බද පාසල් වැසී යෑම, නාගරික පාසල්වල සියලු පාසල් නඩත්තු කටයුතු දෙමාපියන් මත පැටවීම වේගවත් වී තිබේ. අධික සිසු තදබදය, වැඩෙන ගුරු හිඟය සහ භෞතික සම්පත්වල දැවැන්ත ඌනතාවය මගින් පාසල් අධ්‍යාපනය විනාශභාග් කෙරෙමින් පවතින අතර, පාසල් සිසුන් අධ්‍යාපනය හැරයෑම හා ගුරුවරු තම වෘත්තිය අතහැර යෑම වේගවත් වී තිබේ.

අතිශය තරගකාරී උසස්පෙල විභාගයෙන් වසරක් පාසා සමත්වන දෙලක්ෂයකට ආසන්න සිසු සිසුවියන්ගෙන් රජයේ විශ්වවිද්‍යාල සඳහා තෝරා ගතහැක්කේ 35,000ක් තරම් සුලු සංඛ්‍යාවකි. නේවාසිකාගාර, දේශන ශාලා හා ආචාර්ය හිඟ ය දරුනු අතට හැරී තිබේ. ඉහල යන ජීවන වියදම දරා ගත නො හැකි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් බහුතරයකට විවිධ අර්ධකාලීන රැකියාවල නිරතවීමටත් කුසගින්නේ අධ්‍යාපන කටයුතුවල නිරතවීමටත් බල කෙරී තිබේ.

සංවාදයේ දී පෙසප පුබුදු ජයගොඩගේ මැදිහත්වීම පෙසප ධනපතිගැති දේශපාලනය පිලිබඳව තවත් හෙලිදරව්වක් විය. නිදහස් අධ්‍යාපනයේ කප්පාදුව සම්බන්ධව ධනපති පක්ෂවල වගකීම හා ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය සම්බන්ධව ඔහු කිසිවක් සඳහන් නො කිරීමට වග බලා ගත්තේ ය.

අධ්‍යාපනය ලැබීම ජනතාව සතු අයිතියක් යැයි ද අධ්‍යාපන පෞද්ගලීකරනයට තම පක්ෂය විරුද්ධ යැයි ද ප්‍රකාශ කරමින්, ජයගොඩ නැවත නැවතත් කියා සිටියේ අධ්‍යාපනය සඳහා අවස්ථා සීමා වන අවස්ථාවල දී කුසලතා මත පදනම්ව තෝරා ගැනීම සිදු කල යුතු බවයි.

ලංකාවේ මෙන්ම ලෝක පරිමානවත් පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබිය යුතු වයසේ බහුතරයකට එම අවස්ථා දැඩි ලෙස සීමා වී තිබෙන්නේ කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් සූරාකන ධනපති පාලක පන්තිය ගනු ලබන දැනුවත් පන්ති පිලිවෙත් මගිනි. අවසාන විග්‍රහයේ දී, කුසලතා ක්‍රමය අනුව තෝරා ගැනීමේ කඩතුරාව යටතේ ජයගොඩ සහ පෙසප යුක්ති සහගත කරන්නේ ධනපති ක්‍රමයේ මෙම පන්ති පිලිවෙතයි.

සියලුදෙනාටම සමාන අධ්‍යාපන අවස්ථාවන් ලැබෙන පරිදි සමාජය සමාජවාදී පිලිවෙත් මත සංවිධානය කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව ජයගොඩ අධ්‍යාපනයේ සම අවස්ථා නිර්මානය කිරීම සඳහා යෝජනා කලේ රජයට බදු ගෙවීම පැහැර හැර ඇති මහා ව්‍යාපාරවලින් නිසි පරිදි බදු අය කරගෙන එම මුදල් අධ්‍යාපනය සඳහා යොදා ගැනීමේ ධනපති වැඩපිලිවෙලකි.

සංවාදයට පැමින පලමු වටයෙන් ඉවත් වූ විජයදාස රාජපක්ෂ විසින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ පෞද්ගලික විශ්වවිද්‍යාල 300 ට පමන නඩු නොපැවරීම සම්බන්ධව කල චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් ජයගොඩ මෙසේ පැවසීය: “දැනට තියෙන නීතිය යටතෙත් ගොඩක් දේවල් කෙරුවැකි. අපිට අමුතු යෝජනාවක් නෙමේ තියෙන්නේ.”

මෙලෙස, පෙසප ඊනියා කෙටි කාලීන වැඩපිලිවෙල ධනපති ක්‍රමයට හා ධනපති රාජ්‍යයට මහජනයා බැඳ තබන සමාජවාදයට හතුරු වැඩපිලිවෙලක් ය යන කාරනය සංවාදයේදී වඩාත් විශදව ඉස්මතු විය.

සැමට සමාන නිදහස් අධ්‍යාපන අවස්ථා ඇති කල හැක්කේ, මහ බැංකු, ව්‍යාපාර හා වතු සමාගම් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනසතු කොට, අතලොස්සක් මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවට මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරන ලෝක සමාජවාදී ක්‍රමයක් යටතේ පමනි.

ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා කම්කරුවන්, ගොවීන් හා තරුනයන්, ශිෂ්‍යයන් උගන්වා බලමුලු ගැන්වීමට සටන් වැද සිටීන්නේ සසප හා එහි තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පමනි.

සසජාතශි සමග සාකච්ඡාවන් ආරම්භ කරමින් ඔබගේ විශ්වවිද්‍යාලය, උසස් අධ්‍යාපන ආයතනය තුල සසජාතශි ශාඛා ගොඩ නැගීමට පෙරට එන්න! අමතන්න. 0773562327/ iysseslb@gmail.com

වැඩිදුරටත් කියවන්න :

සසප ජනාධිපති අපේක්ෂකයා කැලනිය විශ්ව විද්‍යාලයේ දී ව්‍යාජ වම්මුන්ගේ ධනපති ගැති වැඩපිලිවෙල එලිදරවු කරයි

Loading