[මෙය Why Sri Lankan workers must demand: Repudiate all foreign debt! යන මැයෙන් 2024 නොවැම්බර් 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ප්‍රධාන ඉල්ලීමක් වන්නේ “සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු!” යන්නයි. එම ඉල්ලීම, සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා සටන පෙරට ගෙනයාමට කම්කරු පන්තියේ සමාජ බලය බලමුලු ගැන්වීම පිනිස පක්ෂය දියත්කර ඇති අරගලයේ අත්‍යවශ්‍ය කොටසකි.
පක්ෂය, මෑතදී ගෙනගිය ජනාධිපතිවරන හා පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂන ද ඇතුලු දේශපාලන මැදිහත්වීම් තුලදී කම්කරුවන්, විශ්ව විද්‍යාල සිසුන් සහ තරුනයින් ගනනාවක් ම මෙම ඉල්ලීම පිලිබඳව වැදගත් ප්‍රශ්න අපට මතු කලහ.
එම ප්‍රශ්න කිහිපයක් මෙසේය: විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වන්නේ ඇයි? මෙය කල හැක්කේ කෙසේද? අධිරාජ්‍යවාදී රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනය එවැනි ක්‍රියාවකට දැඩි ලෙස විරුද්ධ නොවන්නේද? එවැනි බරපතල එදිරිවාදිකම්වලට මුහුන දෙන්නේ කෙසේද?
මෙම ප්‍රශ්න, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මත පදනම් වූ පක්ෂයේ සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලේ කේන්ද්‍රයට ම යොමු වන, යුක්තිසහගත ප්‍රශ්න වේ.
2022 මුල් භාගයේ සිට ලංකාව ගිලගෙන දිග් ඇද්දෙන පෙර නොවූ විරූ ආර්ථික ව්‍යසනය, අති මූලිකව ගත්කල, ජාතික අර්බුදයක් නොවේ. එය වනාහි, මාරාන්තික කොවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපදය සහ නැටෝව යුක්රේනය තුල රුසියාවට එරෙහිව උසිගන්වන ලද යුද්ධය මගින් තවදුරටත් උත්සන්න කෙරුනු ගෝලීය ධනවාදයේ පද්ධතිමය අර්බුදයක නිෂ්පාදනයක් මෙන්ම එහි ප්රකාශනයක් ද වේ.
2021 දෙසැම්බරයේ දී, ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.6 දක්වා සිඳී ගියේය, එය, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට, 2022 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව සිය සියලු විදේශ නය පැහැර හරින බව ප්‍රකාශ කිරීමට හේතු විය.
ඒ සමගම, ආහාර, ඖෂධ සහ ඉන්ධන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම නවතා දැමීමට, සීමා කිරීමට සහ විදුලිය කප්පාදුව මගින් අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුව අඛන්ඩව ගෙන ගිය ප්‍රහාර තියුනු කෙරුනි. දරාගත නොහැකි ජීවන තත්වයන්ට එරෙහිව මුලු දිවයින ම සොලවාලමින් 2022 අප්‍රේල්-ජූලි මාසවලදී ඇති වූ මහජන නැගිටීම ඉදිරියේ රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනි.
කෙසේ වුවද, ඉන් කිසිවක් විසඳුනේ නැත. වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මහජන ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ සමගි ජන බලවේගයේ (සජබ) “අන්තර්වාර ආන්ඩුවක්” පිහිටුවීමට කල ඉල්ලීමට සහයෝගය දීම සඳහා හරවා යැවීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ කුප්‍රකට එක්සත් ජනපද ගැත්තෙකු වූ රනිල් වික්‍රමසිංහ, අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් ප්රජාතන්ත්ර විරෝධී ලෙස ජනාධිපති ධූරයට පත් කරන ලදී.
පසුව, සජබ සහ ජවිපෙ සහාය ඇතිව, වික්‍රමසිංහ ආන්ඩුව එක්සත් ජනපදය ආධිපත්‍යය දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබා ගැනීමට සාකච්ඡා කලේය. අනිවාර්ය ලෙස ම, මෙම ඇප නය ලබාදීම සඳහා පැනවූ කොන්දේසි වූයේ, අර්බුදය පියවීම සඳහා මහජනයාගෙන් අයකර ගැනීමට සහ ගෝලීය ආයෝජකයින් සඳහා වඩාත් වාසිදායක ලාභ උල්පතක් බවට පත් කිරීම පිනිස ලංකාවේ ධනවාදී ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම ඉලක්ක කරගත් ම්ලේච්ඡ කප්පාදු පියවරයන් පැනවීමයි.
එතැන් සිට වසර දෙකකටත් අඩු කාලයකදී, බදු අයකිරීම පුලුල් කර ඉහලට ඔසවා ඇත; අත්‍යවශ්‍ය භාන්ඩවල මිල තියුනු ලෙස ඉහල නංවා තිබේ; විදුලිය සහ ජල සඳහා ගාස්තු ඉහල නංවා ඇත; අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය මහජන සේවාවන් දැවැන්ත ලෙස කප්පාදු කෙරුනි.
එහි ප්‍රතිඵලයක් ලෙස, 2023 වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අට තුල රාජ්‍ය ආදායම සියයට 40 කින් ඉහල දමා ගැනීමට ආන්ඩුවට හැකිවී තිබේ.
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුව එහි නියෝග ක්‍රියාත්මක කරන බවට දැනටමත් ජාමූඅට සහතික වී ඇත.
මෙයින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල යටතේ ඉදිරි වසර ගනනාවක් තවදුරටත් ම්ලේච්ඡ කප්පාදුව ගෙනයාමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව, දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුවට වික්‍රමසිංහගේ ආන්ඩුවට වඩා බොහෝ දුර යාමට බල කෙරෙනු ඇත. මේ ආන්ඩුව, වික්‍රමසිංහ යටතේ ආරම්භ කරන ලද, රාජ්‍ය ව්‍යවසායන් තොග පිටින් ප්‍රතිව්‍යුහගත කිරීම, දන්ඩනීය ලෙස බදු සහ ගාස්තු ඉහල දැමීම්, රජයේ වියදම් කපා හැරීම ආදිය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට නීතිමයව බැඳී, දේශපාලන වශයෙන් ප්‍රතිඥා දී ඇත. රාජ්‍ය ව්‍යවසායන් සහ සේවාවන් කුනු කොල්ලයට විකුනා දැමීමත්, අනෙක් ඒවා ධනේශ්වර ලාභ ඉපැයීමට යටත් කිරීමත් හේතුවෙන් රැකියා දසදහස් ගනනක් විනාශ වීමත්, සියලු සේවකයින්ට අදාල වන පරිදි වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව සහ වැඩි වැඩබර පැටවීමත් සිදුවනු ඇත.
එපමනක් නොව, දිසානායක තේරී පත්වූ මැතිවරනයෙන් දින කිහිපයක් ඇතුලත ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් අනුමත කරන ලද ගිවිසුමක් යටතේ, 2028 සිට, කොලඹට, ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් වෙත—එනම්, ලංකාවේ විදේශ නය හිමියන් වෙත—ඉදිරි වසර 15 සඳහා, ගනන් බලා ඇති පරිදි, වසරකට ඩොලර් බිලියන 5 බැගින් ගෙවීම ආරම්භ කිරීමට සිදුවනු ඇත.
මේවා වැඩ කරන ජනතාවගෙන් උදුරා ගත යුතු අති විශාල ධනස්කන්ධයන් ය. ඩොලර් බිලියන 5 ක්, ආන්ඩුවේ වත්මන් මුලු අයවැයෙන් තුනෙන් එකකට සමාන වන අතර එය වත්මන් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට වඩා වැඩි ප්රමානයකි.
දිසානායක සහ ජවිපෙ/ජාජබ, ජනගහනයේ දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීම සඳහා ජාමූඅ නයවල කොන්දේසි නැවත සාකච්ඡා කරන බවට කරන ප්‍රකාශයන්, දවල් හීනයක් හෝ, වඩාත් නිවැරදිව කිවහොත්, බිහිසුනු රැවටිල්ලකි. රටක් රටක් පාසා, ජාමූඅ, සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල පිටුබලය ඇතිව, සිය අනපනත් බලාත්මක කිරීම සඳහා එහි දැවැන්ත මූල්‍ය බලය යොදවා ඇත. ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින් 'සාකච්ඡා කරන' ඕනෑම වෙනස්කමක් තනිකරම ආටෝපමය එකක් වනු ඇත.
අපි මේ නාටකය මීට පෙර ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා බොහෝ වාරයක් රඟදක්වන සැටි දැක ඇත්තෙමු. නාමිකව වමේ හෝ දකුනේ වේවා, සමාජ-ආර්ථික විපත් සමනය කිරීමට පොරොන්දු වෙමින්, විවිධ පක්ෂ මැතිවරන ජයග්‍රහනය කරන්නේ, ඔවුන්ගේ පූර්වගාමීන්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා ම පමනි.
මේ සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන උදාහරනය නම්, අභ්‍යන්තර මාධ්‍ය විසින් “වාමාංශික” සහ “සංස්ථාපිතයට එරෙහි” සංවිධානයක් ලෙස පුම්බන ලද, ජවිපෙ වැනි ම පක්ෂයක් වන, ග්‍රීසියේ සිරිසාවයි. එය, යුරෝපා සංගමයේ කප්පාදු නියෝග කෙරෙහි මහජන කෝපය ගසාකමින් 2015 මැතිවරනය ජයග්‍රහනය කලේ, සිය දක්ෂිනාංශික පූර්වගාමීන්ටත් වඩා ම්ලේච්ඡ ප්‍රහාර වැඩකරන ජනතාව මත පැටවීමට ය.
දිසානායක සහ ජවිපෙ/ජාජබ ඇඟට නොදැනී බොරු කියයි. බලයේ තෝන් ලනුව අතට ගැනීම සඳහා සූදානම් වීමේ දී, ඔවුන් ජාමූඅ වැඩපිලිවෙල බලාත්මක කරන බවටත්, චීනයට එරෙහිව, එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත්, ඉන්දීය පිටුබලය ලබන මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ වික්‍රමසිංහගේ වැඩපිලිවල දිගටම ගෙන යන බවටත් ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට සහ වොෂින්ටනයට පැහැදිලි සහතික ලබා දී ඇත. ඔවුන්ගේ පාලනය, වික්‍රමසිංහගේ හා රාජපක්ෂගේ සහ ලොව පුරා ධනේශ්වර ආන්ඩු මෙන්ම දක්ෂිනාංශික ධනේශ්වර පාලන තන්ත්රයක් වන අතර වෙලඳපොලේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ අනට කීකරු වනු ඇත.
ජාමූඅ වැඩපිලිවෙලට සම්පූර්නයෙන් විරුද්ධ වීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වන්නේ ඇයි? ඉතා සරලව සඳහන් කරන්නේ නම්, එසේ නොකොලොත් කම්කරුවන් සහ ගැමි දුගීන් දැවැන්ත සමාජ පරිහානියකට ගොදුරු වනු ඇත.
ජාමූඅ සහ ශ්‍රී ලංකාවේ නය හිමි ධනේශ්වර මිනීමෝරුන්ගේ ඉල්ලීම් සහ මහජනතාවගේ මූලික අවශ්‍යතා එකිනෙකට පරස්පර වේ. දැනටමත් දරිද්‍රතාවය ඉහල ගොස් ඇති අතර රාජ්‍ය සේවාවන්ගේ ලේ උරාබී ඇත. වැඩකරන ජනතාවගේ විශාල කොටසක් තම බිල්පත් හා සෞඛ්‍ය සේවා සහ තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් සඳහා ගෙවීමට තබා, තම පවුල්වලට ප්‍රමානවත් පෝෂනයක් ලබාදීමට පවා අපොසත් ව සිටිති.
එපමනක් නොව, වැඩකරන ජනතාව මේ නයට කරගැසිය යුත්තේ ඇයි? මෙම නය කිසිවක් කම්කරුවන් සහ දුගීන් විසින් හෝ, ඔවුන් සඳහා ගිවිසුම්ගත ව ගත් ඒවා නොවේ. අනුප්‍රාප්තික ධනේශ්වර ආන්ඩු විසින් ඒවා යොදවන ලද්දේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වසර 26 ක ප්රතිගාමී වාර්ගික යුද්ධයට මුදල් සැපයීම සඳහා ය. එමෙන්ම, යුද්ධය විසින් ඇති කරන ලද අති මහත් විනාශයෙන් ඉක්බිතිව, දැවැන්ත මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනය සඳහා අඛන්ඩව ගෙවීමට සහ යටිතල පහසුකම් යලි ගොඩනැගීම සඳහා ය—යලිත්, එය, කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපත සඳහා නොව, ආයෝජකයින්ට ඉහල ලාභදායි අවස්ථා ලබා දීම සඳහා ය.
විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු! යන අපගේ ඉල්ලීම ජාමූඅ වැඩපිලිවෙලේ සියලුම අංග වලට විරුද්ධව, එනම්, තීරුබදු ඉහල දැමීම් සහ අයවැය කප්පාදුවේ සිට පුද්ගලීකරනය දක්වා වන වැඩපිලිවෙලට විරුද්ධව ලංකාවේ පාලක ප්රභූවට හා ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ අරගලයක් දියත් කිරීමේ අවශ්‍යතාවය සංයුක්තව ම ඉදිරිපත් කෙරෙන්නෙකි.
මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ කාටද? ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ වරප්‍රසාදවලට අභියෝග කිරීමට ඓන්ද්‍රීයව ම අසමත් ජවිපෙ/ජාජබ ආන්ඩුවට, පාර්ලිමේන්තුවට හෝ විරුද්ධ පක්ෂවලට නොවේ. අප මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ කම්කරු පංතියටයි, එනම්, බංකොලොත් ධනේශ්වර පර්යායට එරෙහිව, කම්කරුවන්ගේ බලය පිහිටුවීම සහ සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා අරගලයට කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ලීවරයක් ලෙසයි
මෙම ඉල්ලීම්, සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ දී, ග්‍රාමීය ජනතාව තමන් පිටුපස බලමුලු ගැන්විය යුතු කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම ඉලක්ක කරගත් ඉල්ලීම් මාලාවක අත්‍යවශ්‍ය මූලිකාංගයක් වේ.
මෙම ඉල්ලීම්, ධනේශ්වර පන්තියේ සියලුම නියෝජනයන්ගෙන්—එහි පක්ෂ, ඔවුන්ගේ වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම කන්ඩායම්වලින්—ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කරන ඉල්ලීම සමග සම්බන්ධ වේ.
අප සටන් කරන්නේ, ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටුවලින් තෝරා පත්කරගත් නියෝජිතයන් මත පදනම්වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට යි. ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු පැනවීම ඇතුලුව, වැඩකරන ජනතාව සූරාකෑම අධීක්ෂනය කිරීම සඳහා තම ආන්ඩුව පිහිටුවීමට පාලක පන්තියේ පක්ෂවලට ඔවුන්ගේ පාර්ලිමේන්තුව ඇත. කම්කරුවන්ට සහ ග්‍රාමීය දුගීන්ට ඔවුන්ගේ පන්ති අවශ්‍යතා ප්‍රකාශ කල හැකි සහ ඔවුන්ගේ පන්ති අභිලාශයන් නියෝජනය කරන ආන්ඩුවක් සඳහා අරගලයක් සංවිධානය කිරීමට තමන්ගේම මධ්‍යස්ථානයක් සාදා ගැනීම අවශ්‍ය වේ.
විදේශ නය බර ප්‍රතික්ෂේප කල හැක්කේ කෙසේද? අද දක්වා ලොව ප්‍රථම සහ එකම කම්කරුවන්ගේ ආන්ඩුව නිර්මානය කල, කම්කරු පන්තියේ නායකත්වයෙන් සිදුකල 1917 ඔක්තෝබර් විප්ලවය හරහා රුසියාව තුල ඉටු කරගත් පරිදි, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම තුලිනි. සසප ගොඩනැගීමට සටන් වදින ක්‍රියාකාරී කමිටු හා සමාන සෝවියට් සභා, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත්කරගත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ කවුන්සිලවල පදනම මත පිහිටුවන ලද එම ආන්ඩුවේ මුල්ම ක්‍රියාවන් අතර, සාර්වාදී ආඥාදායකත්වයේ සහ රුසියානු ධනේශ්වරයේ නය ප්‍රතික්ෂේප කිරීම ද විය.
එවිට මෙම තීරනාත්මක ප්රශ්නය පැන නගී: අධිරාජ්‍යවාදී බලවතුන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ඔවුන්ගේ ඒජන්සි, මූල්‍යමය සම්බාධක සහ වෙනත් පලිගැනීම් ඇතුලුව ලංකාවේ එවැනි ආන්ඩුවක ගෙල සිර කිරීමට උත්සාහ නොකරන්නේද? ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ කරනු ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් අනිවාර්යයෙන් ම ආයාචනා කරනු ලබන, මෙම අධිරාජ්‍යවාදී බලයන්ටත් වඩා බලගතු සමාජ බලවේගයක් ඇත—එනම්, ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.
සෝවියට් සංගමයේ අත්දැකීමෙන් පැන නගින අත්‍යවශ්‍ය පාඩමක් ඇත: එය කම්කරුවන්ගේ මතකයන් තුලට නොමැකෙන ලෙස සටහන් විය යුතුය. පලමු කම්කරු රාජ්‍යයේ පරිහානිය හා විනාශය සිදුවූයේ සමාජවාදයේ සහ මාක්ස්වාදයේ ප්රතිවිපාකයක් ලෙස නොව, ස්ටැලින්වාදයේ—එනම්, “තනි රටේ සමාජවාදයේ” ප්රතිගාමී වැඩපිලිවෙලේ පදනම මත ජාත්‍යන්තර සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම නිසා ය. ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දිග්ගැස්සුනු අරගලයේ දේශපාලන පාඩම් පරෙස්සමින් අධ්‍යයනය කිරීම ඉදිරි පන්ති සටන් සඳහා අවශ්‍ය තීරනාත්මක සූදානම්වීමකි.
ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කම්කරු පන්තිය මුහුන දෙන යුද්ධය, දේශගුනික විපර්යාස, සමාජ ප්‍රති-විප්ලවය ආදී දැවැන්ත අන්තරායන් කිසිවක් කිසිදු තනි රටක රාමුව තුල විසඳා ගැනීම තබා, ඒ සඳහා සටන් කරීමවත් කල නොහැක. ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ කොල්ලකාරී ක්‍රියාකාරකම්වලට මුහුන දීමේ දී ලංකාවේ වැඩකරන ජනතාව හුදෙකලා නොවේ.
“මූල්‍ය ප්රාග්ධනය දරිද්‍ර රටවලින් ජීවරුධිරය උරා බොයි” යන මාතෘකාවෙන් යුත් මෑත දී ලෝසවෙඅ පලකෙරුනු ලිපියකින් විශ්ලේෂනය කර ඇති පරිදි, “මූල්‍ය ප්රාග්ධනය යෝධ වැකුම් ක්ලීනරයක් මෙන් මුදල් උරා බොමින් ප්රතිලාභ ලබන අතර, ජනතාව දරිද්‍රතාවයට, කුසගින්නට හා දුක්ඛිතභාවයට මුහුන දී සිටිති,' යි ජාමූඅ ට පවා පිලිගැනීමට බල කෙරුනි.
ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයට එරෙහි ඒකාබද්ධ අරගලයක් සඳහා වෛෂයික පදනමක් නිසැකව ම පවතී. උදාහරන කිහිපයක් පමනක් සඳහන් කරන්නේ නම්:
• මේ වසරේ ජූනි මාසයේ සිට, ජනාධිපති විලියම් රූටෝ විසින් ක්‍රියාවට නංවන ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව කම්කරුවන් හා තරුනයන් සියදහස් ගනනක් සම්බන්ධ කර ගනිමින් සිදුකල මහජන විරෝධතා කෙන්යාව සොලවාලූයේය.
• අගමැතිනි ෂීක් හසීනාට යාබද ඉන්දියාවට පලා යාමට බලකරමින්, බංග්ලාදේශය ජූලි-අගෝස්තු මාසවල දී පෙලපාලිවල දැවැන්ත රල වේගයකින් ඇලලී ගියේය. මහජන ශිෂ්‍ය විරෝධතාවලට යටින් පැවතියේ, දරිද්‍රතාවය හා විරැකියාව නිර්මානය කල, දශක ගනනාවක ජාමූඅ කප්පාදු වැඩසටහන් ය.
• අප්‍රේල් සහ මැයි මාසවලදී පකිස්ථානයේ මහජන විරෝධතා පුපුරා ගිය අතර ජාමූඅ නියෝග කරන ලද ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි විරෝධය දිගටම පවතී.
පන්ති අරගලයේ නැගිටීම ලෝකයේ දුප්පත්ම රටවලට සීමා නොවේ. ලෝකයේ විශාලතම නය කන්දරා ව ගොඩගැසී ඇත්තේ, ලෝක අධිරාජ්‍යවාදයේ හරිමැද සිටින එක්සත් ජනපදය තුල ය. එලඹෙන ට්‍රම්ප් පාලනාධිකාරය—එතෙර එක්සත් ජනපද යුද්ධ සඳහා ගෙවීමට සහ ප්‍රකෝටිපති කතිපයාධිකාරයේ ලාභ ඉහල නැංවීමට—කම්කරු පන්තියට එරෙහිව විවෘතව ම සමාජ ප්‍රති-විප්ලවයක් සූදානම් කරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් පුපුරා ගොස් ඇති වැඩ වර්ජන පුලුල් වනු ඇත. යුරෝපයේ ද එවැනි ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතී.
2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමේ මෙන්ම, තවත් අසංඛ්‍යාත අරගලවල තීරනාත්මක පාඩම නම්, සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වෙමින් මනාව වර්ධනය කරන ලද වැඩපිලිවෙලකින් තොරව, එවන් ව්‍යාපාරයක්, කෙතරම් විශාල සහ සටන්කාමී වුවද, නොවැලැක්විය හැකි ලෙස නාස්තිවී ගොස් පරාජයට පත් වනු ඇති බවයි.
ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික අරගලය තුල මුල් බැසගත් ශ්‍රී ලංකාවේ සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) එහි සහෝදර පක්ෂ, ධනවාදය අහෝසි කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමට අවශ්‍ය විප්ලවවාදී නායකත්වයන් ගොඩනගමින් සිටිති. හජාජාක ලොව පුරා කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීමේ මාධ්‍යයක් ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ආරම්භ කර තිබේ.
අප ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම දේශපාලන සටන සියතට ගන්නා ලෙසත් සසප හා බැඳෙමින් එය ගොඩනඟන ලෙසත් ය.
වැඩිදුර කියවන්න
- ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!
- ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය: ගැඹුරු වන විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ ධනවාදය ආරක්ෂා කිරීමේ වගකීම ජවිපෙ භාර ගනී
- ශ්‍රී ලංකා දූත පිරිස ජාමූඅ ටත්, ලෝක බැංකුවටත් කප්පාදු ප්‍රහාරය දිගටම ගෙන යනු ඇති බව පවසයි
- ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න!
- ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කවුද?