ශ්‍රී ලංකාවේ සුපිරි ව්‍යාපාරිකයෝ නව ආන්ඩුවෙන් “දැඩි“ ආර්ථික තීන්දු ඉල්ලති
Sri Lankan corporate elite demands “tough” economic decisions from new government
සමන් ගුනදාස විසිනි, 2015 අගෝස්තු 24
“ජාතික සමගි ආන්ඩුව” රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමනු ඇති අතර කම්කරු පන්තියේ කවර හෝ ප්රතිරෝධයකට එරෙහිව පොලිස් රාජ්‍ය පියවරයන් පාවිච්චි කිරීමට පැකිලෙනු නැත.
අගෝස්තු 17දා පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක “ජාතික සමගි ආන්ඩුවක්“ පිහිටුවීමට එකඟ වීමත් සමඟ, ගැඹුරු වන ඛාදනයෙන් බැට කෑමට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රතිචාර ලෙස නව ආන්ඩුව සමාජ වියදම් හා කම්කරු පන්තියේ ජීවන කොන්දේසි කප්පාදු කල යුතු බවට මහා ව්‍යාපාරික හොරනෑ ප්‍රසිද්ධියේ අවධාරනය කලේය.
එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන ඇමරිකානු ගැති දක්ෂිනාංශික වික්‍රමසිංහගේ ආන්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ද ඇතුලු වීමට නියමිත අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙහෙවනු ලබන නව රෙජිමයට සුපිරි ව්‍යාපාරිකයින් නව නිර්දේශ ඉදිරිපත් කර ඇත.
“විදේශ ආයෝජනයන්ට මග පෙන්වන ප්‍රතිපත්ති සංශෝධන” මත අවධාරනය කරමින් සුපිරි ව්‍යාපාරිකයින් හා එහි ආර්ථික උපදේශකයින්, ආන්ඩුවෙන්,“ ‛දැඩි’ ආර්ථික තීරන ඉල්ලා සිටින” බව ඊයේ සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කලේ ය. පිම්මේ ඉහල නඟින රාජ්‍ය ආදායම් හිඟය අඩු කිරීම, වර්තමානයේ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 12ක් වන බදු ආදායම නැංවීම හා පොදුකාර්ය ආයෝජන වැඩි කිරීම මෙම ඉල්ලීම්වලට ඇතුලත් ය.
ටයිම්ස් පත්‍රයට කතා කරමින් ආර්ථික විද්‍යාඥ සිරිමල් අබේරත්න පැවසුවේ රටේ නය බර එහි බදු ආදායමෙන් සියයට 700ක් වන බව යි. “ශ්‍රී ලංකාවට තව දුරටත් මහජන මුදල් නාස්ති කල නො හැකි” බව ඔහු ප්‍රකාශ කලේ ඒවායේ “තරඟකාරිත්වය” වැඩි කිරීමට රජයට අයත් ව්‍යාපාර 300 “කප්පාදු” කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරමිනි.
ශ්‍රී ලංකා මහබැංකුවේ පුවත්පත් නිවේදනයක්, පුලුල් වන වෙලඳ ශේෂය හා මෙම වසරේ පලමු භාගයේ දී නිර්යාතවල පහල යාම අවධාරනය කලේ, ගෝලීය අවපාතයේ තියුනු බලපෑමට ඇඟිල්ල දිගු කරමිනි. නිර්යාත ආදායම ජූනියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 944 දක්වා, එනම් ගිය වසරට සාපේක්ෂව සියයට 4.2කින් පහත වැටුනු බව බැංකුව පැවසී ය. 2015 පලමු මාස හය ඇතුලත සමුච්චිත පදනම මත නිර්යාත ආදායම 0.6කින් පහල ගිය අතර වෙලඳ ශේෂය ඩොලර් බිලියන 4කට ආසන්න සියයට 15.6කින් වැඩි විය.
“රුසියාව (සියයට 29ක වැටීමක්) හා මැද පෙරදිග ( සියයට 24ක වැටීමක්) වැනි ප්‍රධාන තේ ගැනුම් කරුවන්ගේ වඩා පහල ඉල්ලුම නිසා, එක දිගට එකොලොස්වැනි මාසය දක්වා ජූනියේ දී තේ නිර්යාතය පහල ගියේ” විශාල වශයෙන් ම ගෝලීය ආර්ථික පිරිහීම හා මැද පෙරදිග හා රුසියාවේ දේශපාලන කැලඹීම් නිසා බව බැංකුව පැවසී ය.
නිර්යාතවල සමස්ත පහල යාම පිලිබිඹු කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිර්යාත වෙලඳපොලවල් වන එක්සත් ජනපදය හා යුරෝපා සංගමය තුල වඩ වඩාත් නරක අතට හැරෙන පශ්චාත් -2008 අවධමන ප්රවනතාවන් ය. “යුරෝපා සංගමය වෙලඳපොලට කෙරෙන රෙදිපිලි හා ඇඟලුම් නිර්යාත මැයි මාසයේ දී සියයට 11.8කින් පහල ගියේ 2015 මාර්තුවේ සිට නිරීක්ෂනය කරන ලද පරිහානිය අඛන්ඩව පවතින බව සලකුනු කරමිනි.”
මහබැංකුවේ මෑත ම දත්ත ඇඟවුම් කරන්නේ තර්ජනාත්මක ගෙවුම්ශේෂ අර්බුදයකි. පසු ගිය වසරේ අදාල කාල පරිච්ඡේදයේ ඩොලර් මිලියන 1,954ක අතිරික්තය හා සසඳන විට, 2015 පලමු මාස හය ඩොලර් මිලියන 791.7ක ගෙවුම් ශේෂ හිඟයක් ඇති කලේ ය.
විදේශ නය විශාල වශයෙන් හිඟය ආවරනය කලේ, නය ගෙවුම් බර වැඩි කරමිනි. ඊට අමතරව සංචාරක කර්මාන්තය හා පිටරටවල, ප්‍රධාන වශයෙන් ම මැද පෙරදිග රැකියාවල නියතු කම්කරුවන්ගේ ප්‍රේෂන වැනි අවිනිශ්චිත අංශ මත දැඩි වාරුවීමක් ඇත.
ජනාධිපති මහින්ද රාපක්ෂගේ ආන්ඩුව යටතේ ඇරුඹුන චීන අරමුදල් යෙදූ ව්‍යාපෘති නවතා දැමීම මගින් ආර්ථික අර්බුදය සංකීර්ක කෙරී ඇත.
සිරිසේන සුලුතර එජාප නායකත්වය දෙන ආන්ඩුවක් පත්කල ජනවාරියේ සිට, රාජ්‍ය විදේශ නය සීඝ්රයෙන් වැඩි වී ඇත. රාජ්‍ය බැඳුම්කර හා සංවර්ධන බැඳුම්කර හරහා මිල අධික වානිජ අනුපාත මත ආන්ඩුව ඩොලර බිලියන 3.8ක විදේශ නය ලබා ගත්තේ ය. එය ඉන්දියාවේ මහබැංකුව සමග මුදල් හුවමාරු විධිවිධාන ද ස්ථාපිත කලේ ය, එය අත්සන් කරන ලද්දේ නව දිල්ලිය හා කොලඹ අතර කිට්ටු බැඳීම් තහවුරු කර ගැනීමට මාර්තු මාසයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝදි ලංකාවට පැමිනි අවස්ථාවේ දී ය.
ඊට අමතර ව, භාන්ඩාගාර බැඳුම්කර හා බිල්පත් මගින් දේශීය වෙලඳපොලෙන් ද රුපියල් බිලියන 661ක නයක් ලබා ගත් අතර එය 2014 මුලු අවුරුද්ද සඳහා ම ලබා ගත් රුපියල් බිලියන 445ට සන්සන්දනාත්මකය.
මෙම නය ගැනීම්, මහබැංකුවේ ආසන්න මුදල් බංකොලොත්කම පෙන්නුම් කරයි. ආර්ථික විද්‍යාඥයෙකු වන පාලිත ඒකනායක ඊයේ සන්ඩේ ටයිම්ස් පත්‍රයට මෙසේ පැවසී ය. “භාන්ඩාගාර අරමුදල් ප්‍රදාන බොහෝ සේ හිස් වන අතර වැටුප් හා වැඩ කුලී, විශ්‍රාම වැටුප් හා සමුර්ධි වැනි එදිනෙදා පුනරාවර්තන වියදම් පියවීමට බදු හා තීරුබදු එකතු කිරීමට අවශ්‍ය වන අතර දිලිඳු සහන, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම්, සංවර්ධන වියදම්, නය හා පොලී හා වෙනත් වියදම් ආපසු ගෙවීම් සඳහා මුදල් නයට ගැනීම අවශ්‍ය වනු ඇත.”
පෙබරවාරියේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 4ක ආන්ඩුවේ නය ඉල්ලුම ප්‍රතික්ෂේප කලේ, ජාමූඅ සියයට 5.2ක ඉලක්කය උල්ලංඝනය කරමින් පසු ගිය වසරේ අයවැය හිඟය දදේනියෙන් සියයට 6 දක්වා වැඩි වුනු නිසා ය.
හිටපු මුදල් ඇමති රවි කරුනානායක ජූලි මාසයේ දී ඇඟවූයේ ආන්ඩුව ඊ ලඟ මුදල් වර්ෂයේ දී හිඟය දදේනියෙන් සියයට 5.5 දක්වා කප්පාදු කරනු ඇති බව යි. මෙහි අර්ථය වන්නේ ආන්ඩුව කප්පාදු පියවර - බදු වැඩි කිරීම, සීමිත ශුභසාධන වැඩසටහන් කැපීම හා රජයේ ව්‍යාපාර සඳහා සහනාධාර කප්පාදුව - පටවනු ඇති බව යි.
ප්රමුඛ ව්‍යාපාරිකයින් ඉල්ලා ඇත්තේ එවැනි “ප්රතිසංස්කරන” පැටවිය හැකි “ස්ථාවර ආන්ඩුවකි.” ලංකා වානිජ මන්ඩලයේ හිටපු සභාපති සුරේෂ් ෂා සන්ඩේ ටයිම්ස් පත්‍රයට මෙසේ පැවසී ය: “ (අතීතයේ) ලොකු ම ගැටලුවක් වී තිබුනේ අස්ථාවර ප්‍රතිපත්ති, මම විශ්වාස කරන්නේ මෙය ඉදිරි හය මාසයේ දී විසඳීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.”
රජයට අයත් ව්‍යාපාර පුද්ගලීකරනය කිරීමට පුද්ගලික අංශය යෝජනා කල “දෙවැනි පරම්පරාවේ” ප්රතිසංස්කරන සැලැස්ම ගැන සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ය. සෑම රටක ම මහා ව්‍යාපාර හා ජාත්‍යන්තර ආයෝජකයින් උත්සාහ දරමින් සිටින්නේ දැනට පවතින රාජ්‍ය ව්‍යාපාර ද ඇතුලු සෑම සම්පතක් ම කොල්ලකෑමට ය.
මාස ගනනාවක් තිස්සේ තේ හා රබර් වැවිලි සමාගම්, කිලෝ 16-18 සිට කිලෝ 25 දක්වා දෛනික තේ දලු නෙලන ඉලක්ක වැඩි කිරීම වැනි විශාල බර පැටවීමක් ඉල්ලා ඇත.
මස්කෙලිය ග්ලෙනුගී වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවෝ එවැනි වැඩ ප්‍රමානය වැඩි කිරීමට එරෙහිව වැඩ වර්ජනය කලහ. ජූලියේ දී දඩයමක් මුදා හරිමින් සමාගම පලිගත්තේ බොරු චෝදනා මත කම්කරුවන් තිදෙනෙකු දොට්ට දමිමින් හා හතරදෙනෙකුගේ වැඩ තහනම් කරමින් සහ ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් කරමිනි.
ජූලි මාසයේ දී, යටියන්තොට ගනේපොල රබර් වත්තේ කම්කරුවෝ ද ඒ ආකාරයෙන් ම වැඩි වැඩ පැටවීමට හා වැටුප් කප්පාදුවට එරෙහිව විරෝධය දැක්වූහ. සමාගම කම්කරුවන් දඩයම ලක් කල අතර බොරු චෝදනා මත ඔවුන්ගෙන් 13කු අත්අඩංගුවට ගත්තේ ය.
මෙම ප්‍රහාර අනතුරු අඟවන්නේ කම්කරුවන්ගේ විරෝධය කුඩු කර දැමීමට හා ගෝලීය ධනවාදී අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට හාම්පුතුන් හා සිරිසේන ආන්ඩුව විසින් ගෙන යනු ලබන පුලුල් සූදානම යි.
Follow us on