ධනපති ගැති රාවයේ වික්ටර් අයිවන් අලුත් ප්රතිගාමී දේශපාලන අඩව්වක් අරඹයි
විජේ ඩයස් විසිනි, 2017 ජනවාරි 22
වික්ටර් අයිවන්, තම රාවය පත්‍රය හරහා, මහජනතාව දේශපාලනිකව අවමංගත කිරීම පිනිස අලූත් ව්‍යාපාරයක් දියත් කොට ඇත. එය නම්කොට ඇත්තේ පුනරුද ව්‍යාපාරය නමිනි.
මේ පුනරුද ව්‍යාපාරයට මුල පුරනු ලැබුයේ, 2016 නොවැම්බර් 27දා රාවය පත්‍රයේ පලකරන ලද ලිපියකිනි. මෙහි විමසුමට ලක් කෙරෙන්නේ එම ලිපිය යි.
රාවය පත්තරය යොදා ගනිමින් ප්‍රසිද්ධියේ ද වෙනත් නොයෙක් අප්‍රකට සම්බන්ධතා හරහා ද අයිවන් මෙතෙක් කලක් ගෙන ගිය කුප්‍රකට දේශපාලනයේ ප්රතිගාමිත්වය හා ජුගුප්සාව, ඔහු මෑතදීම වාරුව ලබාදී කෙලින් කල වර්තමාන මෛත්‍රීපාල-වික්‍රමසිංහ ආන්ඩුව විසින් උග්‍ර කෙරී ඇති තතු යටතේ, මෙවර දියත් කරන ව්‍යාපාරය ”දේශපාලන වසයෙන් බලය අල්ලා ගැනීම අරමුනු කරගත නොයුතුයැයි” මුලදීම කියා සිටීමට අයිවන් පරෙස්සම්වී ඇත. එම වංචනික කරුනටම තවත් පලිප්පු දැමීම සඳහා ඔහු, ”බලය අල්ලා ගැනීමකින් තොරව, නවීන දියුනු හා ක්‍රියාකාරී සමාජයක් ගොඩ නැගීම එහි අරමුන විය යුතු යැයි” කියා සිටී.
1960ගනන් මැදදී රෝහන විජේවීරගේ සගයෙකු ලෙස දේශපාලනය පටන් ගත් ඔහු, මෙතෙක් කරගෙන ගිය දේශපාලනය මහජනතාව අතර කුජීතභාවයට පත්වෙමින් තිබෙන බව අයිවන් වටහා ගනී. තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරීත්වය මුලුමනින්ම යටිකූට්ටු වැඩකටයුතුවලට පමනක්ම සීමා කරගනිමින්, ”දේශපාලනයෙන් තොර ප්‍රඥාවන්තයෙකු ලෙස හැඩවී”, තමා අරමුනු කර ගන්නේ ”ප්‍රඥාවන්තයන් නිහඬව සිටීමේ පිලිවෙත අවසන් කිරීම යැයි” පාරම් බායි.
ප්‍රඥාවන්තයින්ගේ හඬ මතුකර ගැනීමට අයිවන් යෝජනා කරන්නේ, ”අඥානයන් කරන හඬ නැගීම ඉදිරියේ” ය. මේ යෙදුම වඩාත් යෝග්‍ය වන්නේ, රාවය විසින්ම අන්දවා උසිගන්වන ලදුව, යහපාලන කැරොල් කරත්තයේ බර ඇදීමට යොදා ගැන්නවුන් සඳහා ය. ඒ අතර සිටි ගාමිනි වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය, ඩෙස්මන් මල්ලිකාආරච්චි, සමන් රත්නප්‍රිය සහ නිර්මාල් රංජිත් දේවසිරි ඇතුලු බොහෝ දෙනා තවමත් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රැකගෙන යාමට හඬ නගති. අයිවන් ප්‍රකාශ කරන්නේ, වේගයෙන් කුජීතවන එම ආන්ඩුවට අන්‍යන්ට නොඅඩු තරමින් දරදිය ඇද්ද තමා ඔවුන්ට වඩා වෙනස් ප්‍රඥාවන්තයෙකු බව ය.
අයිවන්ට පහලවී ඇති ප්‍රඥාවේ මෑත විකාශය මෙසේ ය, ඔහු මෙසේ ලියා දක්වයි: ”මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට, නව යහපාලන ආන්ඩුවක් බලයට පත් කිරීමට සමත්ව ඇතත්, මේ රට මුහුනදී තිබෙන විස්තීර්න හා ඓතිහාසික අර්බුදය විසඳීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක්, වුවමනාවක් හෝ ක්රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට එම යහපාලන ආන්ඩුව සමත්වී නැත. යහපාලන ආන්ඩුව දැන් තිබෙන්නේ, මහජන පිලිගැනීම වේගයෙන් අහිමිකර ගන්නා තත්වයක ය”.
යහපාලන උගුලට මහජනයා හිරකරලීමේ දේශපාලනයට කරගැසීමෙන් හරියටම අවුරුදු දෙකක් ගතවූ පසුව (2014 නොවැම්බර් සිට 2016 නොවැම්බර් දක්වා) අයිවන්ට ප්‍රඥාව පහලවී ඇත. දැන්, ඔහු කෙරෙහි විස්වාසය තැබූ ඔබට සනීප ද?
මෙය සනීපයක් කොට සැලකිය හැක්කේ, මහජනතාව දුර්දාන්ත ධනේශ්වර පාලනයක් තුල තවත් අවුරුදු දෙකක් කඹුරන්ට තල්ලුකර දැමීම හේතුකොට ඔවුන් අත්විඳි විපාක ගැන මොනම තැකීමක්වත් නොහඟින නරුමයන්ට පමන ය.
එපමනක් නොව, එසේ කල හැක්කේ, ඊනියා යහපාලනයක හා ප්රජාතන්ත්රවාදී පරිවර්තනයක ප්‍රෝඩාව යටතේ, කම්කරුවන්ට, දුගීන්ට, තරුනයන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව රුදුරු මර්දනය පෙරනූවිරූ මට්ටමකින් මුදාහැරීම සඳහා, ප්රතිගාමී ධනපති රාජ්‍යය ශක්තිමත් කරනු වස්, ආන්ඩුව දැනටමත් සිදුකර ඇති සූදානම් කටයුතු නොතකන මධ්‍යම පන්තික බඩජාරිත්වයක් හා මුග්ධභාවයක් ඇතියවුන්ට පමන ය.
අවස්ථාවාදී අලුත් අඩව්වකට අවශ්‍ය ප්‍රඥාව උත්පාදනය කර ගැනීම සඳහා, අයිවන්ම ප්‍රකාශ කරන පරිදි, ඔහුට අඩුතරමින් අවුරුදු පනහක්වත් ගතවී ඇත. 2016 නොවැම්බර් 27දා රාවය ලිපියට අනුව, ඔහු දේශපාලනය අරඹන්නේ, 1960 ගනන් මැදදී ජනතා විමුක්ති පෙරමුනට එකතුවීමෙනි. එදාමෙදා තුර ගතවූ කාලයේදී ඔහු මහජනතාවගේ දේශපාලන ගමන්මග වල්මත් කරනු වස් අනුගමනය කල තුච්ඡ පිලිවෙත් පිලිබඳ ආවර්ජනා කිරීමෙන් උපන් අපුල නිසාම ඇතම්විට ඔහුට ”දේශපාලනය” එපාවූවා විය හැකි ය. ඒ එසේ වන්නේ, ඔහු තුල යම් ආත්මීය අවංකභාවයක් පවතිතොත් ය. එහෙත් අයිවන්ගේ චරිතය, ඔහුගේම ප්‍රකාශවලින්ම පැහැදිලි කරගත හැකි අයුරින්, එවැනි පුරුෂාර්ථයක් ඔහුගේ අහලකවත් නැති බව පෙන්නුම් කරයි. ඔහු පෙන්නුම් කරන්නේ, මේ ධනපති ක්‍රමය තුල බඩකට පුරවා ගැනීමට තප්පුලන සුලධනේශ්වරයාගේ බෙලහීනත්වය වසා ගැනීමට මවා ගන්නා උද්ධච්ඡභාවයට හා තකතිරුකමට ආවරනයක් ලෙස යොදා ගන්නා පන්ඩිතමානී බවක් ය.
මෙම නිහීන චරිත ලක්ෂනවලට හොඳම උදාහරනය වන්නේ, තමා විසින් උජාරුවෙන් අත්හරිනු ලැබ ඇති බව කියන මාක්ස්වාදය ගැන මෙන්ම තමා විසින් ඊට නොඅඩු උද්දාමයකින් වැලඳ ගත්තේ යැයි කියන ගාන්ධිවාදය ගැන ද පෙන්නුම් කරන මුග්ධභාවය යි. මේ වැන්නන්ට, කුමාරතුංග මුනිදාසයන් කියා ඇති පරිද්දෙන්, ”නොදන්නේ ද නොදන්නා බව නොදන්නේ ද මුග්ධයෙකි උගන්වව”යි දැනුම් දුන්නාට ද වැඩක් නැත.
මාක්ස්වාදය අත්හරින්ට ද ගාන්ධිවාදය වැලඳගන්ට ද ඔහු යොමු වන්නේ 1971 කැරල්ලේ චූදිතයෙකුව සිරබත් කද්දී ය. සිරගෙදර තුලදී තමා ”දෘෂ්ටිමය වසයෙන් ලොකු පරිවර්තනයකට ලක් වෙමින් සිටියේ යැයි” අයිවන් පාරම් බායි. ”අපට වැරදුන මූලික හේතුව උඩින් පල්ලෙන් මිස හොඳින් මාක්ස්වාදය නොහැදෑරීම නිසා බව” මුලින් සිතුන හෙයින්, තමා පසුව ”මාක්ස්වාදය උනන්දුවෙන් හදාරන්නකුගේ තත්වයට පත්වූ” බවත් ”මාක්ස්වාදය හැදෑරීමේ ප්‍රතිපලය මාක්ස්වාදයට ආයුබෝවන් කීමේ තත්වයට පත්වීම බවත්” අයිවන් පැහැදිලි කරයි.
මේ පාපෝච්චාරනය පෙන්නුම් කරන්නේ, සිරමැදිරියට කොටුකෙරුනු අයිවන් එදා සිටම ඉව අල්ලන්නට පටන් ගත්තේ, ඊනියා අරගල මාවත වෙනුවට ධනපති ක්‍රමයට අනුගතවීමේ පොටක් පාදා ගැනීමට බව යි. වැරදුනු තැන හොයාගැනීමට යොමුවූ ඔහු, ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය මාක්ස්වාදයේ උරගල මත විමසා බැලූයේ නම් අඳුනා ගනු ඇත්තේ, සුලුධනේශ්වර දේශපාලනයේ බංකොලොත් බවත් මාක්ස්වාදයේ නිවැරැදි බවත් ය. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය, මාක්ස්වාදය ලෙස හඳුන්වා ගැනීම එහි ප්රතිගාමී ස්වභාවය මගින් මාක්ස්වාදය අපකීර්තියෙහි හෙලීමේ එක් ක්රමයකි. එය, සෝවියට් සංගමය බිඳ විසුරුවීම, මාක්ස්වාදයේ සාවද්‍යභාවය ”ඔප්පු කිරීමට” ස්ටැලින්වාදය හා මාක්ස්වාදය අනන්‍ය කිරීමේ කුප්‍රකට උත්සාහයට නොදෙවෙනි ය.
තමන්ගේ ”උනන්දු සහගත හැදෑරීම” සාරාංශගත කරන අයිවන්, ධනේශ්වර ක්‍රමය, වැඩවසම් ක්‍රමය තුල තිබුනු පරස්පරයන් උග්රවීම නිසා බිහිවූ ස්වභාවික ක්‍රමයක් වුවත් සමාජවාදය මනසේ ඇතිකරගත් බලහත්කාරයෙන් පැලකරන්නට උත්සාහ කරන ස්වභාවික නොවන දෙයක් ය යන්න මා ඇතිකර ගත් මතය විය” යැයි කියයි. තවදුරටත් මේ පැහැදිලි කිරීම ඉදිරියට ගෙන යන ඔහු, ”මා මාක්ස්වාදය අත්හරිනු ලැබුවත් මාක්ස් හා එංගල්ස්ගේ ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ න්‍යාය අද දක්වාම මගේ සිතුම් පැතුම් කෙරෙහි බලපා තිබෙන්නේ යැයි” තිර කරයි. ඔහු වටහා ගත් ඓතිහාසික භෞතිකවාදයේ තරම, වැඩවසම් හා ධනපති සමාජ ක්‍රම අතර පැවැතියාවූ ”ස්වභාවික” ඓතිහාසික සම්බන්ධතාව පිලිබඳව ඔහුම දක්වා ඇති තකතිරු ප්රකාශයෙන්ම පැහැදිලි වෙයි. එහෙත්, විලාසිතාවක් ලෙස ඓතිහාසික භෞතිකවාදී වාගාලාප හරඹ කිරීම, වෙනත් ව්‍යාජ වම්මුන් ලෙසම, ඔහු ද ඉදිරිපත් කරන දේශපාලන ලනු අඹරා ගැනීමට උදව්වේ යැයි ඔහු සිතනවා විය යුතු ය.
මාක්ස්වාදය හැදෑරුවෙකු නම්, ඓතිහාසික භෞතිකවාදී න්‍යායට අනුව කෙරෙන විභාග කිරීමකදී හඳුනාගනු ඇත්තේ, වැඩවසම් ක්‍රමය පරයා ධනේශ්වරයේ ස්ථාපිතවීම, ස්වභාවික සිදුවීමක් නොව, ධනපති ක්‍රමය සඳහා ඓතිහාසික සමාජ කොන්දේසි නිර්මානය වීමෙන් ඉක්බිතිව, ඒ පිලිබඳ සවිඥානක වන සමාජයීය මිනිසා දරන පරිශ්රමයක ප්‍රතිපල ලෙස සාක්ෂාත් කෙරුනු විප්ලවවාදී සංසිද්ධියක් ය යන්න යි. මේ පරිවර්තනය, සමාජීය මිනිසාගේ විප්ලවකාරක භාවිතයේ ප්‍රතිඵලයක් ය. සාමාන්‍ය ඉතිහාසය පාඩම් පොත්වලදී පවා, මේ විප්ලවයන්, ඇතම්විට පුද්ගලනාමයන් සමග අනන්‍ය කොට දැක්වෙනු පවා යම් ඓතිහාසික අවබෝධයක් ඇත්තෝ දනිති. බ්‍රිතාන්‍යයේදී ඔලිවර් ක්‍රොම්වෙල් (1648), ඇමෙරිකාවේදී ජෝර්ජ් වොෂිංටන් (1775) හා ප්රන්සයේදී රොබෙස්පියර් (1789) වැනි පුද්ගල නාමවලින් එම විප්ලව හැඳින්වෙන්නේ ඔවුන් එම සමාජ පරිවර්තනයන්හි දී නායක කාර්යභාරයක් ඉටුකල හෙයිනි.
බ්‍රිතාන්‍යයේදී හා ප්රන්සයේදී මෙම විප්ලවීය සමාජ පරිවර්තනය අත්පත් කර ගැනුනේ, ප්රචන්ඩ බලය යොදාගත් ධනපති පන්තීන් විසින්, වැඩවසම් රාජාන්ඩුවල හා රජුන්ගේ මලකඳන් මතිනි. බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ද ප්රන්සයේ 16 වැනි ලුවී රජු ද ඒ ඉරනමට ගොදුරුවූහ. ඇමරිකාවේදී එය එපරිදි සිදු නොවූයේ, එහි පාලනය දරා සිටි ජෝර්ජ් රජු අත්ලන්තික් සාගරයෙන් මෙපිට දුර ඈතක සිටි නිසා පමනි.
දැන් සියවස් ගනනාවකට පසු, භූගෝලීයකෘත වී, ධනපති ක්‍රමය ගර්හිතවී ඇති තතු යටතේවුව ද එයින් වැගිරෙන ඕජස තලුමරමින් භුක්තිවිඳ බඩ තර කර ගැනීමේ ව්‍යායාමයක යෙදෙන අයිවන් වැන්නන් ධනපති ක්‍රමය බිහිවීමේ විප්ලවීය ස්වභාවය වටහා ගැනීමෙන් වලක්වනු ලැබීමට ද ඓතිහාසික හේතු පවතී. ඊට හේතුව නම්, වැඩවසම් ක්‍රමය ධනපති ක්‍රමය මගින් විස්ථාපනය කරනු ලැබීම, කල්තියාම විප්ලවීය ලෙස වැඩවසම් ක්‍රමය පෙරලා දමා තහවුරුවූ ධනපති ක්‍රමයක් සහිත රටවල මැදිහත්වීම යටතේ, වැඩවසම් නෂ්ටාවශේෂ අතුපතු ගා දැමුනු බොහෝ රටවල් අතරට ලංකාව හා ඉන්දියාව වැනි රටවල් අයත්වීම යි. ධනපති ක්‍රමය ස්වභාවික ක්‍රමයක්ය යන මනස්ගාතය තොරොම්බල් කෙරෙන්නේ, මේ රටවල විජිත පාලනයන් යටතේ බිහිවුන ධනපති පන්තියේ බෙලහීනත්වය වහංගු කර ගැනීමේ වංචනික ව්‍යායාමයක් වසයෙනි.
එහෙයින්ම, මෙම ධනේශ්වර ක්‍රමයට බැලමෙහෙවර කරන අයිවන් වැනි බොහෝ ශාස්ත්රාලයීය ඉතිහාසඥයෝ තවත් දෙයක් කරති. ඒ නම්, තවමත් වැඩවසම් ක්‍රමයක් යටතේ පැවති මේ රටවලට කඩා වැදුනු බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්, මේ රටවල ධනේශ්වර ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ක්‍රියාත්මක කල, අතිශය ම්ලේච්ඡ මට්ටමේ ප්රචන්ඩ බලය පිලිබඳ ලේවැකි වාර්තාව වහංගු කිරීම ය. මෙවැන්නන්, ඒ මගින් සලසා ගන්නා ඉඩකඩ, වර්තමානයේදී තුන්වැනි න්‍යෂ්ටික ලෝක යුද්ධයක සැලසුම් මත ක්‍රියාත්මක ඇමෙරිකාව ප්රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මූලෝපායික මැදිහත්වීම් ඉත සිතින් වැලඳ ගැනීමට හා එහි රුදුරු විපාකවලට මහජනයා ගොදුරු කිරීමට මොවුන් විසින් යොදාගනු ලැබේ. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය සහිතව සිදුකෙරුනු, 2015 ලංකාවේ රාජ්‍ය තන්ත්ර මාරුවට කර ගැසීම මගින් ඔවුන් ඉටුකල හා තවමත් ඉටු කරන දුෂ්ට දේශපාලන කාර්යභාරය එයයි. අයිවන්ගේ පුනරුද ව්‍යාපාරය අරමුනු කරන්නේ, තවත් හොරපාරකින් ජනයා මේ දංගෙඩියට දක්කාගෙන යාමට ය.
ගාන්ධි හා නේරු ද අයත්වන්නේ, මෙම බෙලහීන අධිරාජ්‍ය ගැති විජිතවාසී ධනපති ධාරාවට ය. එහි චූලවංශිකයන් වූයේ ලංකාවේ සේනානායක-බන්ඩාරනායක රැල ය. ගාන්ධි ගැන දීප්තිමත්ම ගුනාංගීකරනය ඉදිරිපත් කලේ, ලියොන් ට්‍රොට්ස්කි ය. ”ගාන්ධි වංචනික අනාගතවක්තෘවරයෙකි; ප්‍රෝඩාකාරී නායකයෙකි”යි ට්‍රොට්ස්කි ශූර සංක්ෂිප්භාවයකින් පැවසීය.
ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දුගී ජනයා මුලා කිරීම සඳහා, ගාන්ධිව දිලිඳුභාවයේ කඩමාලුවලින් සරසා ඉදිරිපත් කිරීමට, ඉන්දියාවේ කෝටිපති ධනපතියන්වූ ටාටා හා බීර්ලා වැනි සමාගම්වල අධිපතියෝ දැවැන්ත ධනයක් වැයකල බව, ගාන්ධි තමන්ට හුරු නරුම ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය. ඉන්දියාවේ නිදහසේ නාමයෙන් පෙනී සිටියද ගාන්ධි එකදිගටම කැපවී සිටියේ, ඔහු විසින් අතිශය ගෞරවාදරයෙන් පක්ෂපාතිත්වය ප්‍රකාශ කෙරෙනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ග්රහනය පවත්වාගෙන යාමට ය. ඉන්දියානු උප-මහාද්වීපීය දේහය දෙපලු කොට, එය ඉන්දියා-පකිස්ථාන ලෙස ප්රතිමල්ලව රාජ්‍ය දෙකකට බෙදාලීමට ඔහුගේ එකඟතාව පලකිරීමෙන් ගාන්ධි පෙන්නුම් කලේ, දසලක්ෂ සංඛ්‍යාත ජනඝාතනයක් මතින්වුව, බ්‍රිතාන්‍ය අධිරාජයාගේ අන පිලිපැදීමට තමා කැපවන බව යි. ඉන්දියාවේ ඊනියා නිදහසින් මාස කීපයකට පසු, ගාන්ධි ඝාතනය කරනු ලැබීමෙන් සිදුවූයේ ඔහුගේ අධිරාජ්‍ය ගැතිභාවයේ දුෂ්ට මූනත තවදුරටත් මුලුමනින් එලිදරව්වීම වැලකීයාම පමනි. ඔහුගේ රඟපෑම්වල කොටසක් ලෙස, රජයේ නිලතල භාරගැනීම ප්‍රතික්ෂේප කල ද ඊනියා නිදහසින් පසු ගාන්ධි ගෙවූ මාස කීපය තුලදී ද කාශ්මීරයේ ජනතා නැගිටීමට එරෙහිව ඉන්දියානු මිලිටරි බලඇනි යෙදවීමට ගාන්ධි අනුමැතිය පලකලේ ය. ඔහු තවදුර ජීවත්වූයේ නම් අනුයා හැකිව තිබූ මර්දනීය පාලනයේ ස්වභාවය ගැන ඉඟියක් එයින් පෙන්නුම් කෙරුනි.
මේ ටික කෙටියෙන් ලීවේ, ගාන්ධිගේ අපරාධකාරී දේශපාලන ඉතිහාසය ගැන සවිස්තරාත්මකව ලිවීමට මෙහි ඉඩක් නැති හෙයින් බව පාඨකයක් වටහා ගනු ඇතයි සිතමි. කෙසේවුවද, අපගේ මාතෘකාව ගාන්ධි නොව, ඔහුගේ විකෘත කෙරුන රූපයට මුවාවී මතු වෙන්ට තතනන වික්ටර් අයිවන් ය.
ජනතා විමුක්ති පෙරමුනේ රෝහන විජේවීර සමග, මා ඕවාදය ද චේ ගෙවේරාවාදය ද ඇටුවන් බැහපු සිංහල වර්ගවාදය සමග කලතා අඹරාගත් කල්කය බෙදා හරිමින් සිට, ධනපති රාජ්‍යයේ මර්දනයට හසුවූ පලමු අවස්ථාවේම, වික්ටර් අයිවන් සුලුධනේශ්වර රැඩිකල්වාදයට ආයුබෝවන් කීමට තීන්දු කලේ ය. ඉන්පසුව ගාන්ධිවාදය පලිහක් කරගනිමින් වැඩ පටන් ගන්නේ, ධනපති සමාජය තුල හරිබර ගැහී කුලීනයෙකු ලෙස පැලපදියම්වීමට ය. ඔහු මීට අවුරුදු තිහකට පෙර රාවය සඟරාව ආරම්භ කරන විට ඉලක්ක කරගත්තේ එය යි. ඔහුගේ වචනයෙන්ම කියතොත්, ”මට අවශ්‍යවූයේ ජනතාවගේ ආකර්ශනයට හේතුවන හා ජනතාවගේ බුද්ධියට කතා කරන සඟරාවක් බිහි කිරීමට ය. මාගේ ප්‍රධාන ඉලක්කයවූයේ සිංහල සමාජයේ මත ගොඩ නගන්නන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් ය.”
ධනපති සමාජය තුල ස්ථිරසාර ඒකායන විප්ලවවාදී පන්තිය ලෙස, ඓතිහාසිකව නිර්නයවූ කම්කරු පන්තියට හිමි නායක කාර්යභාරය වලහාලනු වස්, සියලු පීඩිතයන් හා දුගීන් අතර විප්ලවවාදී පන්තිය දියකර හරින, නිර්ධන පන්තිය යන වචනය ජනතා විමුක්ති පෙරමුන විසින් යොදා ගැනුනි. එම දුර්මතය ද ඉවත දා, දැන් අයිවන් යොදාගත් වචන වනුයේ, ”ජනතාව” හා ”සිංහල සමාජය” යනාදිය යි. ධනපති පන්තිය ද ඒ කරා නැග ගැනීමට ඉනිමං පතන සුලු ධනේශ්වර හා මධ්‍යම පන්තික තට්ටුන්වල ද ආකර්ශනයට ලක් වෙමින් ”ජනප්‍රියවීම” අයිවන්ගේ ඉලක්කය විය.
මේ හේතුව නිසාම අයිවන්ගේ රාවය, සිය ”සමාජ විවේචනය” හැමවිටම, ධනපති පන්ති පාලනයේ තීරනාත්මක අර්බුද අවස්ථාවන්හිදී, ධනපති පන්තියට අනතුරුදායක නොවන පරිද්දෙන් කලමනාකරනය කිරීමට පරිස්සම් වීය. ධනපති ක්‍රමය පිලිබඳ රාවය පත්‍රයේ ”විවේචන”, එම කඳවුරු තුලම ලැගුම් ගන්නකුගේ කන් කෙඳිරිවලට එහා නොයන තැනට එය හැමවිටම වගබලා ගත්තේ ය. කවර කෝපාවිෂ්ට පුපුරා හැලීම් සිදුකල ද, මේ නම් මධ්‍යම පන්තික හා සුලූ ධනේශ්වර සමාජ තීරුවේ පොදු ජීවන රටාවට මුලුමනින්ම අනුකූල විය. එය කම්කරු පන්තියේ වෛෂයික ඓතිහාසික ගාමකයට පරස්පර ය. මාක්ස් හා එංගල්ස්, සිය ඓතිහාසික භෞතිකවාදී සමාජ විශ්ලේශනයට අනුව, කොමියුනිස්ට් ප්රකාශනය ලියා එලිදැක්වූ 1847 තරම් ඈතදීම, ධනේශ්වර ක්‍රමයට එරෙහිවන සියලු පන්තීන් අතරින් කම්කරු පන්තියම පමනක් ස්ථිරසාර විප්ලවවාදී පන්තිය වන්නේය යැයි සටහන් කලේ මේ හේතුව නිසා ය. මේ ප්‍රකාශය නිකුත්වීමෙන් ඉක්බිතිව, ධනේශ්වර ක්රමයේ පැවැත්ම දිග් ගැස්සී ගිය පසුගිය වසර 170 පුරාවටම, මේ ඓතිහාසික සත්‍යය නිෂ්ප්රභාවී නැත.
රාවය පත්‍රයේ තිස් වසරක ඉතිහාසය පිලිබඳව උජාරුවෙන් වාර්තා කරන, අයිවන්ගේ 2016 නොවැම්බර් 27දා ලිපිය, රාවයේ මෙම මෙම පිංගුත්තර චරියාව ඔහුගේ වචනවලින්ම පැහැදිලි කර දෙයි. රාවයේ දේශපාලන භූමිකාව විස්තර කරන අයිවන්, එහි කියුම් කෙරුම් පෙලගස්වා ඉදිරිපත් කිරීමේදී, කිසිවිටෙකත් සඳහන් නොකරන වචන දෙක තුනක් පවතී. ඒ නම්, ”ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම” යන වචන කිහිපය ය. ඒවා අයිවන්ට තහනම් වචන ය. ඒ, තමන්ම අටවාගත් සීමාව තුල ඔහු පාරම්බාන ”අරගල”, ”සටන්”, ”උද්ඝෝෂන”, ”බලවත් ලෙස පෙනී සිටීම”, ”හඬ නැගීම” යන සියල්ල, මරලතෝනියේ කාලය ද ඉක්මවමින් සිටින ධනපති ක්‍රමය තුල රැඳී ගැනීමට හා ඒ මගින් බඩ වඩා ගැනීමට දැරෙන සුලූ ධනේශ්වරයාගේ හූල්ලෑම්ලට වැඩි දෙයක් නොවන නිසා ය.
අවසානයට, රාවය ලිපිය උදම් අනන්නේ තිස් අවුරුද්දක් පුරා පන බේරාගත් ආකාරය පිලිබඳව ය. ලෝක ධනේශ්වරයේ මාරාන්තික අර්බුදයේ කොටසක් ලෙස හා එහි තීව්ර ප්රකාශනය ප්‍රදර්ශනය කල තැන් ලෙස ලංකාවේ තිස් අවුරුද්දක වර්ගවාදී යුද්ධයත්, 1987-89 අතරතුර කාලයේ 60,000කට අධික තරුන සංහාරයත් දැක්විය හැකි ය. සිංහල දෙමල දෙවර්ගයට අයත්වූවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ ජීවිත හානියත්, ධනපති විරෝධී සංවිධානවලට හා සටන්කරුවන්ට එරෙහි මිනීමරු දඩයමක් දියත්වූ මෙවන් කාලවකවානුවක් තුල වික්ටර් අයිවන් උඩුබුරුලන්නේ, තමාත් තමාගේ රාවය පත්‍රය හා එහි ලියන්නන් ඇඟපත සීරීමකින් පවා තොරව රැකී ආ සැටි ගැන ය. රාවයේ පල කෙරුන ධනපති ගැති සාරසංග්රහවාදී වංචනික ”විවේචන”, වරදවා වටහා ගැනීමකින් බැරෑරුම්ව ගත් අයෙකුට පවා, එවැනි නිර්ලජ්ජිත රැකවරනයක් ගැන උදම්විය හැකි ද යන්න සැකසහිත ය. අපි ඔවුන් ගැන අවංකවම කම්පා වන්නෙමු.
සමාජයීය සමස්තය විවිධ ප්‍රභේදවලින් සමන්විත ය. ඒ සියල්ල එකට බැඳලන්නේ සමාජයේ මූලික නිෂ්පාදන ක්‍රියාවලිය මගිනි. සාරසංග්රහවාදියා මේ මූලික සමාජ ක්‍රියාවලිය නොතකා, සමාජයේ විවිධාංග උලුප්පාගෙන, ඒවා මුල්කොට ගනිමින් සමාජ විවරන ඉදිරිපත් කරයි. වර්තමාන ධනපති සමාජය තුල පාලක පන්තියේ ආරක්ෂාව සඳහා, නිෂ්පාදන ක්‍රියාවලියේදී පවතින මූලික පන්ති විභේදනය, කම්කරු හා ධනපති ලෙස පන්ති දෙකකට බෙදීගිය සමාජ සංයුතිය, යට ගැසීම සඳහා විවිධ ආකාරයේ අනන්‍යතා දේශපාලන ව්‍යාපාර පදනම්වන දාර්ශනික ආස්ථානය සාරසංග්‍රහවාදය යි. ස්ත්‍රීවාදය, කලුජාතික වාර්ගිකත්වය මෙන්ම කුලවාදය ද ඒ ගනයට වැටෙන අනන්‍යතා දේශපාලන ධාරාවන් ය. මේ සියලු ජනකොටස්, ධනපති ක්‍රමය මුහුන දෙන අර්බුදයේ ගැඹුරුතරභාවයට සාපේක්ෂව, වඩවඩාත් දැඩිවන පීඩනයන්ට ගොදුරු වෙති. සාරසංග්රහවාදියා, ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි තේරීමේ ක්‍රමයට, මේ සමාජ කොටස්වල ප්‍රශ්න සඳහා වෙන්වෙන්වූ විසඳුම් යෝජනා කරමින්, තත්‍ය පීඩකයා වන ධනපති ක්‍රමය පීඩිතයන්ගේ අභියෝගයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක වෙයි. වික්ටර් අයිවන් මේ කාර්යයේ නිපුනයෙකි. ඔහු තමා ගැනම කතා කරන තන්හිදී පාරම්බාන, රාවය පත්‍රයේ නිර්භයභාවය රඳා පවතින්නේ මේ දුෂ්ට කාර්යයෙහිලා ය. එහිදී සුවිශේෂ වසයෙන්ම ඔහු යෙදී ගෙන සිටින ව්‍යාපෘතියක් වන්නේ, කුල පීඩනයේ නෂ්ටාවශේෂ උලුප්පා දක්වමින් ඒ පිලිබඳව ගෙන යන සාරසංග්රහවාදී අපසරනය ය.
ධනේශ්වර ක්‍රමය මගින් පීඩාවට පත්කෙරෙන සියලු ජනකොටස් එකට බැඳලන ඒකායන පීඩාකාරී බලවේගය ධනපති පන්ති පීඩනය යි. කවර ජාතියකට, වර්ගයකට, ආගමකට, කුලයකට හෝ ලිංගිකත්වයකට අයත්වුව ද ධනේශ්වර ක්‍රමය මගින්, මේ සියලු ජනකොටස් හරහා විනිවිදින එකම රත්කල යකඩය වන්නේ, පන්ති පීඩනය යි. කම්කරුවන්ගේ ශ්‍රමය උපයෝගි කරගනිමින් කෙරෙන සමාජ නිෂ්පාදනයේදී, කම්කරු ශ්‍රම ශක්තියේ සුවිශේෂි නිර්මානය වන අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයේ නිරත මූලික පන්තිය වන කම්කරු පන්තිය, ධනපති ක්‍රමය, පොදු දේපලක්රමයකින් -සමාජවාදයෙන්- විස්ථාපනය කිරීම සඳහා ගෙන යන අරගලය සමග අත්‍යන්තයෙන් වෛෂයිකව බැඳී පවතින්නේ ය. සමාජවාදී ව්‍යාපාරය, කම්කරු පන්තිය මුහුන දෙන විප්ලවවාදී නායකත්වය හා ඉදිරිදර්ශනය පිලිබඳ ප්රශ්නය විසඳීමේ සටන තීරනාත්මක කේන්ද්‍රීය කාර්යභාරය කොට ගන්නේ ඒ නිසා ය. අද නිෂ්පාදනය හා බෙදා හැරීම භූගෝලීයකරනය වී ඇති තතු යටතේදී, ජාත්‍යන්තර පරිමානව ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමට ගෙන යන සටන සඳහා වන දේශපාලන සුදානම් කටයුතු, අධිරාජ්‍යවාදයේ පීඩනයට නතුවන විජිත හා අර්ධ විජිත රටවල කම්කරු-පීඩිත මහජනතාවගේ විමුක්තිය සම්බන්ධයෙන් තීරනාත්මක වන්නේ ද මෙම ඓතිහාසික වෛෂයික හේතුවෙනි. වික්ටර් අයිවන් මේ දේශපාලන ඉදිරිදර්ශනයේ පරම සතුරෙකි.
”රාවය පත්‍රයට සැඟවුනු න්යායපත්ර නොතිබුනි” යැයි අයිවන් කියන්නේ අමූලික බොරුවකි. විවිධ දහංගැට න්‍යාය පත්‍ර උඩ රාවය එක දිගටම ද රාවය පිහිටුවන්ට පෙර ජනතා විමුක්ති පෙරමුනු යුගයේ සිටම ද අයිවන් වැඩකලේ, ධනපති ක්රමයේ චිරස්ථිතිය සඳහා ය. සමසමාජ හෝ ස්ටැලින්වාදී පක්ෂ සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන ද ඉතිහාසය පුරා කරගෙන යන්නාක් මෙන්, එලිපිට ප්‍රකාශයට පත් කරන්නේ ඇත්තටම ඔවුන් ක්‍රියාත්මක කරන න්‍යාය පත්‍ර නොවේ. 1964 ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සභාග ආන්ඩුව පිහිටුවීමේ මහා පාවාදීම කරන ලද්දේ, සිරිමා බන්ඩාරනායක වමට තල්ලුකරගෙන සමාජවාදයට යා හැකිය යන වංචනික න්‍යාය පත්‍රය පෙරට දමා ගෙන ය. ඊට පසු බොහෝ අවස්ථාවල, යූඇන්පිය පරාජය කිරීමේ න්‍යාය පත්‍රය ඔජවඩවාගෙන ය. 1970දී ජවිපෙ සභාගයට කත් ඇද්දේ ද ඒ කතාව කියමිනි. විවිධ කාලවල මේ ද්‍රෝහී නායකයන් මෙන්ම රාවය පත්‍රය ද ”ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට”, ”ප්රජාතන්ත්රවාදය කැඳවා ගැනීමට”, ”රට බෙදීම වැලක්වීමට හා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට” හා මෑතදීම ”රාජපක්ෂ දුර්දාන්ත පාලනය අහෝසි කිරීමට” යන ව්‍යාජ න්‍යාය පත්‍ර, පෙරට දමන ලද්දේ ඇත්ත න්‍යාය පත්‍ර හංගා ගෙන ය.
රාවය දැන් ආරම්භ කර ඇත්තේ ද, එවැනිම තවත් වංචාකාර න්‍යාය පත්‍රයක් පෙරට දමා ගෙන, ජනතාව යලි වතාවක් ව්‍යසනකාරී ධනපති ක්රමයේ ගොදුරු බවට පත් කිරීමේ ව්‍යාපාරයකි.
”යහපාලනය” සඳහා රාවය ද හවුල්වූ ව්‍යාපාරය, තම දුෂ්ට ව්‍යායාමය සඳහා ජනතාව රැලිකිරීමට නොකියූ බොරුවක් නැත. ඒවාම හැඩතල වෙනස් කොට යලි පුනරුච්ඡාරනය කිරීමට, පුනරුද ව්‍යාපාරය දියත් කිරීමේදී රාවයට සිදුව තිබේ. යහපාලන උද්ඝෝෂකයන්, තමන්ගේ රාජපක්ෂ පැන්නීමේ ව්‍යාපාරය දියත් කලේ, අධිරාජ්‍යවාදී ඇමරිකාව ප්රමුඛ බලවතුන්ගේ ද පිටුබලය සහිතව, ලංකාව චීනය සමග පවතින සබඳතාවලින් බිඳ අධිරාජ්‍යවාදී යුද මූලෝපායට කරබදු කර ගැනීමටය යන්න වසං කරගෙනවූවාක් මෙන්ම, පුනරුද ව්‍යාපාරය ද ඇත්ත නොකියයි. ඒ නොකියන ඇත්තේ අඩංගු ප්‍රධාන කරුනක් වන්නේ, ඇමෙරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපතිවරයා යටතේ, චීනයට එරෙහි මිලිටරි ප්‍රහාරාත්මක පිලිවෙත උත්සන්න කිරීමේ තතු යටතේ, එයින් මහජන අවධානය අපසරනය කොට ජනයා දේශපාලනිකව නිරායුධ කිරීම යි.
මේ සඳහා පුනරුද ව්‍යාපාරය රෝල් කරන්ට පටන් ගෙන ඇත්තේ ද ධනපති පක්ෂ විසින් පට්ට ගසනු ලැබ හම්පඩවූ සටන්පාඨ වීම, එය මුහුන දෙන කාලකන්නිභාවයේ ප්රකාශනයකි. රාවය පුනරුද ව්‍යාපාරයේ අරමුනු ලෙස පෙල ගස්සන සටන් පාඨ පැලැල්ලේ ලියා ඇත්තේ ”සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හා මනුෂ්‍ය ගෞරවය ලබාදීම, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන නවීන රාජ්‍යයක් ප්රතිනිර්මානය කිරීම, පුරවැසියන්ගේ පරාමාධිපත්‍ය බලය උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීම” යනාදිය යි. ජේ. ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජ පොරොන්දුවේ සිට යහපාලන පොරොන්දුව දක්වා වන හැම ප්රලාපයක්ම, ධනපති පන්තිය විසින් බෙදනු ලැබුවේ මහජනයා මුලාකිරීම සඳහා ය.
මේවා ප්‍රලාප වන්නේ, රාවය ද ඇතුලුව, ඒ පොරොන්දු දෙන කිසිවකුත්, එම සටන්පාඨ බලගැන්විය හැකි වෛෂයික සමාජ බලයකින් යුක්ත නොවන නිසා ය. ධනපති පන්තියේ කවර කොටසකටවත්, කොතරම් තැටමුවත් ඒ බලය උත්පාදනය කරගත නොහැකි ය. එම පන්තිය, වර්තමාන ඓතිහාසික යුගයේදී සමත්කම් දක්වන්නේ මානව වර්ගයා යලිවතාවක් ම්ලේච්ඡභාවයට ඇද දැමීමට පමනය. පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකක් හරහා ඔවුන්ගේ ප්රයත්නයවූයේ, ඒ ව්‍යසනය හරහා තම ප්රතිගාමී ධනේශ්වර පද්ධතියේ මරනය කල් දමා ගැනීමට ය. අද න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයන් අතර යුද්ධයකට කෙරෙන සූදානම කෙලවර විය හැක්කේ මානව වර්ගයා එහෙම පිටින්ම අතුගෑවී යාමෙනි.
සාමාජිකයන් දසලක්ෂයක් බඳවා ගැනීම ඉලක්ක කොට ගෙන ඇත්තේ යැයි කියන පුනරුද ව්‍යාපාරය, අයිවන් විසින් යොදා ගනු ඇත්තේ, මීට ඉහත කාලයේ ඔහුගේ ප්රතිගාමී ප්‍රෝඩාවන් සේ ම, එම සාමාජිකත්වය ඔජ වඩවා පාලක පන්තිය සමග තුච්ඡ කේවල් කිරීමකට යාම සඳහා ය. මෙහිදී ඔහු තනිවී නැති බව, ඊනියා දේශපාලනයෙන් තොර මහජන ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා අතුරලියේ රතන වැනි තවත් ධනපති ගැත්තන් කලඑලි බහින්ට පටන් ගෙන තිබීමෙන් පෙනී යයි. මේ සියල්ලන් පෙල ගැසෙන්නේ, අර්බුද ග්රස්ථව කුනුවෙමින් පවතින ධනපති පාලනය කම්කරු-ගොවි ආන්ඩුවක් මගින් විස්ථාපනය කරනු ලැබීම වැලකීමට ය. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන එවැනි ආන්ඩුවක් සඳහා කම්කරු-පීඩිත-තරුන ජනයා උගන්වා ගැනීමට හා මෙහෙයවා ගැනීමට ය.
මානව වර්ගයාගේ පැවත්ම සහතික කර ගනු හැක්කේ, ලෝක කම්කරු පන්තිය, සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත මූලිකත්වය ගනිමින්, පීඩිත සියලු ජනතාවගේ නායකයා ලෙස, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයකින් අධිරාජ්‍යවාදය විස්ථාපනය කිරීමෙනි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, යුද්ධයට එරෙහි ලෝක ව්‍යාපාරයක් ගොඩ නැගීම හරහා දියත් කර ඇත්තේ එම ව්‍යායාමය යි. ඔක්තෝබර් විප්ලවයේ ශත සංවත්සර වර්ෂයේදී සියලු අව්‍යාජ සටන්කරුවන් ඒ සඳහා කැපවී ගැනීම අත්‍යවශ්‍ය ය.
Follow us on