ලංකාවේ උතුරේ දසදහස් ගනන් මිනිස්සු ගංවතුරට ගොදුරු වෙති
අපේ වාර්තාකරුවන් විසිනි, 2019 දෙසැම්බර් 14
පසුගිය සතිය පුරා ම පැවතුනු වැසි හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා රට පුරා ම විශාල විනාශයක් සිදු වී ඇත. වාර්තාවලට අනුව රට පුරා පවුල් 44,952 කට අයත් 153,377 දෙනෙක් ආපදාවට ලක් වී සිටිති. ආන්ඩුවේ හා බලධාරීන්ගේ නොතැකීම් නිසා ධාරානිපාත වැස්ස මේ මහජනයාගේ සමාජ හා ජීවන ප්‍රශ්න තවත් උග්‍ර කර තිබේ.
යුද්ධයෙන් විනාශ කෙරුනු උතුරු පලාතේ මුලතිවු, කිලිනොච්චි, මන්නාරම, වවුනියා සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල පවුල් 13,686ක 44,098ක් විපතට ලක් වූහ. මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුනික තත්ත්වය දැඩි ලෙස බල පා තිබේ. පවුල් 224ක සාමාජිකයෝ 757ක් ආරක්ෂිත ස්ථාන යැයි කියනු ලැබෙන තැන්වල රඳවා තබනු ලැබ ඇත.
කිලිනොච්චියේ පවුල් 8,959ක 28,764ක්, යාපනයේ පවුල් 1,858ක 6,298ක්, මුලතිවුවල පවුල් 1,393ක 4,189ක්, මන්නාරමේ පවුල් 1,073ක 3,527ක්, වවුනියාවේ පවුල් 403ක 1,320ක් ආපදාවට ගොදුරුවී සිටිති.
කිලිනොච්චියේ ගෙවල් 6ක් සම්පූර්නයෙන් විනාශ වී ඇති අතර ලිඳකට වැටීමෙන් සහ ගසක් කඩා වැටීමෙන් ලමුන් දෙදෙනක් අනතුරට පත් ව ඇත. උතුරු පලාත පුරා ම, ගෙවල් 423ක් ආංශික ව විනාශ වී ඇත. පරන්තන් සහ මුලතිවු අතර ඒ-32 මාර්ගයේ පාලමක් වතුරට ගසා ගෙන ගොස් ඇත. යාපනයේ ‘ගම්පෙරලිය’ වැඩසටහන යටතේ සෑදූ පාරවල් වතුරින් හානියට පත් ව ඇත.
ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට අනුව නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 40,000, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 10,000ක්, ත්‍රිකුනාමලය පවුල් 1,400ක් විපතට පත්වූ අය අතර වෙති.
පාලක පන්තිය දිගට ම කර ඇත්තේ ගංවතුර ආපදාව සම්බන්ධ වගකීම ස්වභාව ධර්මයට පැටවීම නමුත්, අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල නොතකා හැරීම මෙවන් ආපදාවන්ට මූලික ව වගකිව යුතු ය.
කිලිනොච්චි සහ මුලතිවු දිස්ත්‍රික්කවල යුද්ධය අවසන් වීමෙන් පසු ව නැවත පදිංචි වී සිටින ජනතාවගේ බොහෝ අය තවමත් තාවකාලික ව පැල්පත් සාදා ගෙන ජීවත් වන අතර අන්තිම දරුනු දරිද්‍රතාවයෙන් බැට කති. වන්නි ප්‍රදේශය යයි සඳහන් කරන මෙම ප්‍රදේශ වැව් සහ ආරුවලින් පිරුනු ප්රදේශයකි. යටිතල පහසුකම් ක්‍රමවත් ව නිම කොට නැති බැවින් ගංගා වැවු පිරුනු විට නිවාස යට වෙයි.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ විශාල ම වැවක් වන ඉරනමඩු වැවේ වාන් දොරටු ඇර දමා ඇත. මුහුද කරා ඇදී යන ජල කඳ කුඹුරු සහ එලවලු වගාවන් විනාශ කරමින් ගලා යයි. යාපනය දිස්ත්‍රික්කයේත් මෙවර එලවලු වගාවන් විනාශ වී ඇත.
යුද්ධය කාලයේ විනාශ කෙරුනු යටිතල පහසුකම් ජාත්‍යන්තර ආයෝජන සහ සංචාරකයන් ඈඳා ගැනීමේ ඉලක්කයෙන් හදිසියෙන් යලි ගොඩ නගද්දී මහජනතාවට විය හැකි විනාශය තැකුවේ නැතැයි ප්රදේශවාසියෝ චෝදනා නගති. මහාමාර්ග සහ දුම්රිය මාර්ග නිමවද්දී කානු බෝක්කු පද්ධතිය හරියට නිම කර නොමැති නිසා හැම වසරක ම නිවාස ගංවතුරට ගොදුරු වෙයි. ආන්ඩුව කරන්නේ ඒ වෙලාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම වැනි සොච්චම් සහනාධාර කීපයක් ලබා දී අත හෝදා ගැනීමයි.
බෝ වන රෝග සහ ඩෙංගු උන සඳහා දවසකට 1300 දෙනෙක් ප්‍රතිකාර ලබන බවත් 60 දෙනෙක් පමන වාට්ටුගත කරන බවත් යාපනයේ ශික්ෂන රෝහල සඳහන් කරයි. දෙමල ජාතික සන්ධානයේ පාලනය යටතේ ඇති යාපනය මහ නගර සභා සීමාව තුල කානු පද්ධතිය සහ පිරිසුදු කිරීමේ අඩුපාඩුකම් නිසා මදුරුවන් සහ ලෙඩ රෝග පැතිර යාම ඉහල ගොස් ඇත.
ගංවතුරට අසු වූ මිනිසුන්ට වියලි ආහාර බෙදා දීම මගින් දේශපාලකයන් තමන් මහජනතාව ගැන කැක්කුමක් ඇති අය ලෙස වංචනික ව හුවා දක්වා ගන්නා අතර, දශක තුනක් තිස්සේ යුද්ධයක් ගෙන යාම නිසාත් දිගටම පලාත වාඩිලාගෙන සිටින නිසාත් මහජනයාගේ කෝපයට ලක්වී සිටින මිලිටරිය ගංවතුරට විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් වල යෙදමින් මානවවාදී මුහුනුවරක් පෙන්වා ගැනීමට උත්සාහ කරයි.
කිලිනොච්චි නගරයේ සිට කි.මී. 8ක දුරින් පිහිටි කන්ඩාවල, මුරසුමෝට්ට, ඌරියාන්, පෙරියකුලම්, පන්නංකට්ටි සහ මරුදනගර් වැනි ගම් සෑම අවුරුද්දක ම ගංවතුර ආපදාවට ලක් වෙන ප්‍රදේශ වෙයි. එම ගම්වලට පිවිසෙන මාර්ග ද විනාශ වී ඇත.
ලෝසවෙඅ වාර්තාකරුවෝ මෙම අවතැන් කඳවුරුවල නතර වී සිටි අය සමඟ සාකච්ඡා කල හ.
පන්නංකන්ඩි දෙමල පාසලේ පවුල් 165ක් නතර වී සිටියහ.
මරුදනගර් ගමේ ක්රිෂ්නමූර්ති රාජිනි (48) තමන්ගේ අක්කර තුනක ගොවි ඉඩම් විනාශ වූ බවත් පසුගිය වසරේ ගංවතුරට ද ගොවිතැන් විනාශ වූ බවත් සඳහන් කලා ය. “ආන්ඩුව එක් කෙනෙක් දෙන්නෙක්ට තමයි වන්දි දුන්නේ. වැවුවලින් පිටාර ගලන ජලය මුහුදට යැවීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් ක්‍රියාවට දැම්මේ නැති නිසයි මේ වගේ විනාශයන්ට අප මුහුන දෙන්නේ. ජලාපවාහන පද්ධතිය සුද්ධ කරලා දෙන්න යයි දිගින් දිගට ම ඉල්ලා සිටියා. ගනන් ගන්නේ නෑ. ඒ නිසා මේ වගේ ගංවතුර විනාශයන්ට ඇතිවීම නිතර සිද්ද වෙන දෙයක් බවට පත් වෙලා.“ යැයි ඇය චෝදනා කලා ය.
පෙරියකුලම් කොට්ඨාශයේ ගම් දෙකකට අයත් පවුල් 40ක් නතර වී සිටිය හ.
“පෙරියකුලම්වල වැවු බැම්ම උස් කරලා ශක්තිමත් ව හදලා හරියට පවත්වා ගෙන ගියා නම් අපිට මේ ගංවතුර විනාශය නවත්වන්න පුලුවන්” යැයි පෙරියකුලම් ගමේ දයාබරන් (41) කිවුවේ ය. “ගිය වසරේ ගංවතුරේ දී මගේ එක්ලක්ෂ දස දහසක් වටිනා හරක් නැති වී ගියා. ඒකට වන්දියක් ලැබුනේ නෑ. පසුගිය ආන්ඩුවෙනුත් අපේ ඉල්ලීම් විසඳුනේ නෑ. අලුත් ආන්ඩුවත් සහනාධාර සැලසුම් දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනය ඉලක්ක කර ගෙන තමයි ආන්ඩුව ටැක්ස් අඩු කරලා තියෙන්න.”
මුරිසමෝට්ට දෙමල විද්‍යාලයේ නතර වී සිටි නාන්ගාම් කට්ට (හතරේ කනුව) පදිංචි මරියාන්පිල්ල සෙනවාම්මා (70) යුද්ධයෙන් පසු ව නැවත පදිංචි වූ අයෙකි. “ගිය අවුරුද්දේ ගංවතුර නිසා මගේ කුඹුර සහ කුකුලෝ 40 ගනනක් ගසා ගෙන ගියා. මගේ ජීවන මාර්ග ඒවයි. නමුත් දැන් එදිනෙදා වියදමට බඩු ගන්නවත් මගේ අතේ සල්ලි නෑ. දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝගවලින් පීඩා විඳිමින් තමයි මම ඉන්නේ. ගිය අවුරුද්දේ ගංවතුරින් ආන්ඩුව දුන්නේ රුපියල් 10,000ක වන්දියක්” යැයි ඇය සඳහන් කලා ය.
එම කඳවුරේ ම නතර ව සිටි කේ. චන්ද්රවතී 71 සඳහන් කලේ “මම තනිය ම ජීවත් වෙන්නේ. මගේ කුඹුරට පොහොර දාන මිනිස්සුන්ට ගෙවන්නවත් සල්ලි නෑ. නය අර ගෙන තමයි පොහොර ටිකත් ගත්තේ ඒක ගෙදර තියලා තමයි අවතැන් කඳවුරට එන්න වුනේ. ඒ පොහොර දැන් වතුරේ දිය වෙලා යන්න ඇති. මම ජීවත් වන්නේ තාවකාලික ව අටවා ගත් පැල්පතක. ඒකත් දැන් හානියට පත් වෙලා ඇති. ඒක හරි ගස්ස ගන්නත් මගේ අතේ සල්ලි නෑ.”
යාපනය බටහිර අරාලි ගමේ මිනිසුන් ධීවර කර්මාන්තය සහ කුලියට කරන රැකියාවලින් ජීවත් වන දුගී ජනතාවකි. පහත් පොලවක් වන එම ප්‍රදේශය සෑම වසරක දී ම ගංවතුරට අසු වෙයි. මුහුද අයිනේ පිහිටි මෙම ගම පානීය ජලය සපයා ගන්නේ බවුසර් මගිනි. දවසක් හැර දවසක් ලීටර 40ක් පවුලකට රුපියල් 100කට ප්‍රාදේශීය සභාව විසින් බෙදා දෙනු ලැබෙයි.
ධීවර කර්මාන්තයේ යෙදනෙ මන්නවන් කිරුබාහරන්ගේ පවුලේ හතර දෙනෙකි. ඔහුගේ ඉඩම ජලයෙන් යට වී ඇත. ඔහුගේ නිවසේ නිම වී ඇත්තේ අත්තිවාරම පමනක් බැවින් එම පවුල ජීවත් වන්නේ කූඩාරමක් වැනි පැල්පතකයි. ආන්ඩුව ලක්ෂ පහක නිවාස සැලසුම් යෝජනා කර ඇති මුත් ඔවුන්ට ලැබී ඇත්තේ රුපියල් 70,000ක් පමනි. ආන්ඩුව මාරු වූ නිසා දීමනාවන් සියල්ල නතර කර දමා ඇත. එම නිසා ඔවුන් විශාල අපහසුතාවකට පත් ව ඇත. එ බඳු බොහෝ පවුල් මෙම ගමේ වාසය කරති. බොහෝ ගෙවල්වලට වැසිකිලි පහසුකම් නැත.
කිරුබාහරන් සඳහන් කලේ: “ගංවතුර නිසා අපි බොහෝ ප්‍රශ්නවලට මුහුන දීලා ඉන්නවා. නමුත් රජයේ නිලධාරීන් අපිව බලන්න ආවේ ම නෑ. මේ නිවාස සැලසුම විශ්වාස කරලා තිබුනු පැල්පත අපි ගැලෙව්වා. අපි යුද්ධයෙන් විපතට පත් වෙච්ච මිනිස්සු. නමුත් ආන්ඩුව අපිට උදවු කලේ නෑ. අපිට කියලා ඉඩම් කෑල්ලක් නැති නිසා පහත් ප්‍රදේශයකින් හරි ඉඩම් කෑල්ලක් ගත්තේ බොහෝ ම අමාරුවෙන්. ආන්ඩුව තමයි මේක පුරවල දෙන්න ඕන. ගිය අවුරුද්දේ හමපු සුලි සුලඟින් මගේ බෝට්ටුව අතුරුදන් ව ගියා. ඒකටවත් අපට වන්දියක් ලැබුනේ නෑ. දැන් කුලියට බෝට්ටුවක් අර ගෙන ඒකේ තමයි රැකියාව කරන්නේ. මාසෙකට තුන්දහසක් වන එම කුලියත් ලොකු බරක්.”
එම්. දේවානිගේ ගෙදර ඇය සහ ඇගේ සැමියා ජීවත් වෙති. “ගේ වටේට ම වතුර පිරිලා. අපි සීතලට සහ උනට ගොදුරු වෙලා ඉන්නෙ. ලෙඩෙක් වන මගේ සැමියාට ආදායමක් උපයන්න බෑ. මම එක ගෙදරක උයන වැඩ කරලා රුපියල් 250ක් හොයා ගන්නවා. ඒක ගෙනත් තමයි උයලා කන්නේ. අපි යුද්ධයටත් ගංවතුරෙනුත් විපත්තිවලට ලක් වුනා” යැයි ඇය සඳහන් කලා ය.
එම්. රත්නසිංහම්ගේ පැල්පත වැස්සෙන් ඇති වූ විදුලි දෝශයක් නිසා රුපියල් 43,000ක මුදල්, ගෘහ භාන්ඩ, ලමුන්ගේ පාසල් පොත් සහ ඇඳුම් සියල්ල සමඟ සම්පූර්නයෙන් ම ගිනිබත් වී ඇත. ඒ මොහොතේ නිවසේ කිසිවෙකුත් නොසිටි බැවින් ජීවිත හානියක් සිදු නොවී ය. දැන් ඔවුන්ට ඉතිරි ව ඇත්තේ ඇඳිවත පමනි.
රත්නසිංහම් මෙසේ සඳහන් කරයි: “අපිට නිවාස සැලසුම් දුන්නා. එකෙන් රුපියල් 120 000ක් විතරයි දුන්නේ. ආන්ඩුව මාරු වුනා කියලා ඉතිරි සල්ලි නතර කරලා තියෙනවා. ඒ නිසා අපට ගේ හදලා ඉවර කරන්න බැරි වුනා. මේ ගෙදර වෙනුවෙන් ලක්ෂ දෙකක් නයට අරන් ඒකට පොලී ගෙවනවා. අපේ තත්ත්වය ගැන රජයේ නිලධාරීන්ට දැනුම් දීලත් කිසිම ප්‍රයෝජනයක් නෑ. මම ධීවර රැකියාවට සහ කුලී රැකියාවට යනවා. ඒත් ආදායම මදි. වැහි කාලයේ ගෙයක් නැති ව අපි දුක් විඳිනවා.” ඔවුන් දැන් නතර වී සිටින්නේ මවගේ නිවසේය.
Follow us on