ආන්ඩුව හිටපු ඇමති රනවක අත්අඩංගුවට ගැනීම ධනපති පාලනයේ පක්ෂග්රාහිත්වය හෙලිකරයි
ප්‍රදීප් රාමනායක විසිනි, 2019 දෙසැම්බර් 23
2016 වසරේ සිදුවූ රිය අනතුරක් මුල්කරගනිමින් පැවති ආන්ඩුවේ ප්රමුඛ ඇමතියෙකු වූ පාඨලී චම්පික රනවක, දෙසැම්බර් 18 වනදා අත්අඩංගුවට ගැනුනු අතර පසුදා උසාවිය විසින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කොට 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනි. රනවක අත්අඩංගුවට ගැනීම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ, පොලිසිය සහ උසාවිය මෙහෙයවාගනිමින්, පුලුල් පරිමානයෙන් ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන් දඬුගැසීමේ මූලික පියවරකි.
නොසැලකිලිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලායාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොලඹ අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහි චෝදනා ගොනු කර ඇත. දැනට හෙලිදරව් වී ඇති වාර්තාවන්ට අනුව අදාල සිද්ධියේදී රනවක ඔහුගේ ඇමැති පට්ටමේ බලපුලුවන්කාරකම පාවිච්චිකොට ක්‍රියාකර ඇති බව පැහැදිලි වේ. එය ධනපති පාලනයේ පක්ෂග්රාහිත්වයේ එක් පැත්තකි. එහිම අනික් පැත්ත වන්නේ, දේශපාලන විරුද්ධවාදීන් දුෂ්ට ලෙස දඬුගැසීම යි. ධනපති පාලනය යටතේ මහජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතීන් සාධාරන ලෙස ඉටුවෙතැයි යන මිත්‍යාව පුපුරුවා හරින තවත් අවස්ථාවකි, රනවක අත්අඩංගුවට ගැනීම.
රනවක, පසුගිය සිරිසේන -වික්‍රමසිංහ ආන්ඩුවේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන, විදුලිබල හා බලශක්ති ඇතුලු ප්‍රධාන කැබිනට් ඇමතිධුර කිහිපයක් දැරූ ප්රමුඛ පෙල නායකයෙකි. ඔහු සම්බන්ධ රිය අනතුර පිලිබඳ නඩුව යලි මතුකරගැනීම සහ ඔහු අත්අඩංගුවට ගැනීම, සාධාරනය ඉටු කිරීමේ කාරනයක් නොව, රාජපක්ෂ පාලන තන්ත්රයේ දඩයක්කාරී පියවරයන්ගෙන් එකකි.
රනවක ලංකාවේ ප්රමුඛ සිංහල-බෞද්ධ වර්ගවාදියෙකි. ප්රතිගාමී බෞද්ධ භික්ෂූන් සමග සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමයට නායකත්වය දුන් රනවක, 2005 වසරේ මහින්ද රාජපක්ෂගේ මැතිවරන උද්ඝෝෂනයට සම්බන්ධ වූ අතර රාජපක්ෂ විසින් දෙමල මහජනතාවට එරෙහිව දියත් කල වර්ගවාදී යුද්ධයට මුලුමුනින් සහය දැක්වූවේය. 2015දී රාජපක්ෂ බලයෙන් පහකිරීම සඳහා එක්සත් ජනපදය විසින් මෙහෙයවූ “තන්ත්රමාරු” කුමන්ත්රනයට හවුල් වෙමින් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ එල්ලුනු ඔහු, පාලක එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධුරය දරමින් එහි ප්‍රධානතම සාමාජිකයෙකු ලෙස කටයුතු කලේය.
දේශපාලන විරුද්ධවාදීන් දඩයමට ලක්කිරීම ගැන, පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව තබා ඇත්තේ කුප්‍රකට වාර්තාවකි. 2010 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ හා තරගවැද පරාජයට පත්වූ ප්‍රධානම අපේක්ෂකයා ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ හමුදාපතිවරයා ද වූ සරත් ෆොන්සේකා මැතිවරනයෙන් දින කිහිපයක පසු මිලිටරි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනේ ඔහුට එරෙහි චෝදනාවන් සනාථ කරන සාක්ෂි කිසිවක් ඉදිරිපත් කිරීමකින් ද තොරව ය. එය, මහින්ද රාජපක්ෂ තන්ත්රයේ දේශපාලන දඩයම් වාර්තාවේ ආරම්භය පමනි.
2010 ජනවාරි 26 දා පැවති ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම සඳහා පෙර වසරේ නොවැම්බරයේදී ෆොන්සේකා හමුදාවෙන් ඉවත් වූ අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඉදිරිපත් වූ චෝදනා ඔහුගේ සේවා කාලයේ අවසාන මාස තුනට අදාලව ගොනුවී තිබුනි. ෆොන්සේකාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ ආන්ඩුව එතරම් කාලයක් ගැනීමෙන්ම පෙන්නුම් කෙරුනේ, ෆොන්සේකා රාජපක්ෂට දේශපාලනිකව අභියෝග කිරීමට පටන්ගත්තායින් පසුව ඔහුව දේශපාලන කරලියෙන් ඉවත් කර තැබීම මෙන්ම, අනෙකුත් විරුද්ධවාදීන් බියගැන්වීම සඳහා රාජපක්ෂ ආන්ඩුව එම දඩයම දියත් කල බවයි.
පොලිසිය ඇතුලු සන්නද්ධ අංශ සහ අධිකරනය, “මහජනතාවගේ ආරක්ෂාව සඳහා” යැයි ධනපති පාලක පන්තිය විසින් හුවා දැක්වෙන නමුත්, ඉතිහාසය පුරාවටම ඒවා විසින් ඉටුකර ඇති ප්රමුඛ ක්‍රියාකලාපයන් වනුයේ පවතින ආන්ඩුවට අවශ්‍ය කෙරෙන දේශපාලන දඩයම් ක්‍රියාවට දැමීම සහ කම්කරු පන්තියේ අරගල තලාදැමීම යි. එවැනි ප්රතිගාමී වැඩ වලදී පොලිස් සහ අධිකරන ක්‍රියාවලීන් ධනපති පන්ති පාලනයේ අවශ්‍යතා ඉටු කිරීමට යොදාගැනීම සියලු ආන්ඩුව විසින් සිදුකර ඇත. පැවති ආන්ඩුව යටතේ පොලිසියේ හා හමුදාවේ ඉහල තනතුරු දැරූ නිලධාරීන් මාරු කරමින් වත්මන් ආන්ඩුව දැනටමත් ඊට අවශ්‍ය අඩිතාලම දමාගෙන සිටියි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරනයට ඉදිරිපත් වූයේ, ලංකාවේ ධනපති පාලක පන්තියට එරෙහිව මහජන විරෝධය බරපතල ලෙස වැඩෙමින් එම විරෝධය ක්ෂේත්‍ර ගනනාවක පන්ති අරගල ස්වරූපයෙන් පුපුරායමින් තිබියදීය. ද්‍රෝහී වෘත්තීය සමිති විසින් එම අරගල බලෙන් යටපත් කලා මිස කම්කරුවන් මුහුනදුන් එකදු ගැටලුවක් හෝ විසඳී ඇත්තේ නැත. රාජපක්ෂ සිය මැතිවරන උද්ඝෝෂනයේදී ජාතික ආරක්ෂාව සුරැකීමේ ප්‍රෝඩාකාරී බැනරය උස්සාගෙන, පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ගසා කමින් බලයට පත්ව ඇත්තේ, කප්පාදු පිලිවෙත් හා ප්රජාතන්ත්ර-විරෝධී පිලිවෙත් වඩාත් රුදුරු ලෙස ක්‍රියාවට දමමින් ඊට එරෙහි වන කම්කරුවන් හා පීඩිතයන්ගේ අරගල ලෙයින් මැඩීම සඳහා ය.
රනවක අත්අඩංගුවට ගැනීම මගින් පෙන්නුම් කෙරී ඇත්තේ, ධනපති පාලනයේම කොටස්කරුවෙකු තම දේශපාලන විරුද්ධවාදියෙකු වනවිට රාජපක්ෂ ආන්ඩුවෙන් ලබන සැලකිලිවල ස්වභාවය යි. ධනපති පාලනයේ සැබෑ විරුද්ධවාදීන් වන කම්කරු පන්තියේ සහ පීඩිත ජනකන්ඩායම්වල විරෝධතාවන්ට වත්මන් ආන්ඩුවෙන් එල්ලවිය හැකි ප්රහාරයන්ගේ දුෂ්ට ස්වභාවය කෙතරම් සාපරාධී වනු ඇත්ද යන්න පිලිබඳව මැනගැනීමට එය අවකාශ සලසයි.
දැනටමත් ඊට උදාහරන සපයමින් රාජපක්ෂ බලයට පත්වීමෙන් මාසයක් ගතවෙද්දීම ආන්ඩුව නව වටයකින් මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ වැඩ අරඹා ඇත. එහිදී, ආන්ඩුවේ සෘජු මර්දන උපකරනය වන පොලීසිය, බුද්ධි අංශ මෙන්ම ආන්ඩුවේ අනුග්‍රහය ලබන මැර කල්ලි විසින්, මාධ්‍යවේදීන්ට පහරදීම්, බියගන්වීම් සහ ප්‍රශ්න කිරීම් පිලිබඳ සිද්ධි ගනනාවක් මේ වන විට වාර්තා වී තිබේ.
රාජපක්ෂ සහ රනවක නියෝජනය කරන විපක්ෂය අතර හටගන්නා ගැටුම් වල කඨෝරභාවයක් තිබියේ වුවත් ඔවුන්ට ධනපති පාලනය ගෙනයාම පිලිබඳ ඇත්තේ සුලු උපායික වෙනස්කම් පමනි: එනම් කම්කරු පන්තියේ එලඹෙන අරගල රැල්ලට මුහුන දෙන්නේ කවර රුදුරු ක්‍රමවේදයකින්ද සහ ප්‍රධාන ලෝක බලවතුන් අතර, විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ චීනය අතර උග්රවන එදිරිවාදිකම් තුල තමන් පෙලගැසිය යුත්තේ කොතැනද යනාදී ප්‍රශ්න පිලිබඳ උපායික වෙනස්කම් පමනි.
රනවක අත්අඩංගුවට ගැනීමෙන් මතුකෙරෙන ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහිව එල්ල කෙරී ඇති ප්‍රහාර පිලිබඳ අනතුර කම්කරු පන්තිය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු ය. එහිලා ප්රමුඛ කාරනය වන්නේ, ධනපති පාලන සංස්ථාවන් අතර උපාමාරු දැමීම මගින් තම ප්රජාතන්ත්රීය අයිතීන් ආරක්ෂා කරගැනීමේ මගක් නැත යන්න යි. ප්රජාතන්ත්රීය අයිතීන් හා ධනපති පාලනය අතර තවදුරටත් සම්මුතියක් පැවැතිය නොහැකි කරන ආර්ථික සහ දේශපාලනික කොන්දේසිවලට ධනපති ක්‍රමය මුහුන දී සිටී. එය ලෝක පරිමාන සංසිද්ධියකි. එයින් කම්කරු පන්තියට මතුකෙරන ප්රමුඛ අභියෝගය වන්නේ, ධනපති පන්තියේ සෑම කොටසකින්ම බිඳී වෙන්වී තමන්ගේම ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක් මත පීඩිත ජනතාවන් හා තරුනයින්ට නායකත්වය සම්පාදනය කිරීම යි. ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය පීඩිත ජනතාවන්ගේ සහාය ලබා ගත්, කම්කරු පන්තියේ රාජ්‍ය බලය ස්ථාපිත කිරීමේ වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ ට්‍රොට්ස්කිවාදී සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි.
සසප විසින් වැඩබිම් හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු පන්තියේ හා දුගී ජනතාවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ද ඒවා මගින් සංවිධානය කරන මහජන ආරක්ෂක විධිවිධාන සඳහා ද යෝජනා කරන්නේ ඉහත ඉදිරිදර්ශනය යටතේ ය.
Follow us on