අක්ෂය සාමූහිකයේ ප්‍රති-ට්‍රොට්ස්කිවාදී සංවාදය
සුජීව අමරනාත් සහ වසන්ත රූපසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 10
සමාජවාදී සමානතා පක්ෂය ට්‍රොට්ස්කිවාදී ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය සඳහා කරන අරගලය කම්කරුවන්, තරුනයන් සහ හිතනමතන බුද්ධිමතුන් අතර ආකර්ෂනයක් දිනා ගැනීම ගැන කුලප්පුවී සිටින ලංකාවේ ව්‍යාජවාම කන්ඩායම් ට්‍රොට්ස්කිවාදය විකෘත කිරීමේ හා ඊට පහර දීමේ වැඩ කටයුතු උත්සන්න කර ඇත. අක්ෂය සාමූහිකය නමින් පෙනී සිටින කන්ඩායමක් විසින් පසුගියදා ලියොන් ට්‍රොට්ස්කි: ඉදිරි දර්ශනයක් ද? පැරනි මතකයක් ද? යන මැයෙන් කොලඹ ලංකා වෙලඳ, කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ දී පැවැත්වූ “සංවාදය” එහි එක් පියවරකි.
අක්ෂය සාමූහිකය සහ ඔවුන්ගේ වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ ස්ටැලින්වාදී නිලධාරි තන්ත්රයේ පාවාදීම් නිසා 1991 සෝවියට් සංගමය බිඳ වැටීම සමාජවාදයේ අහෝසිවීමක් ලෙස අනන්‍ය කරන ප්රතිගාමී ආස්ථානය කර පින්නා ගත්තවුන් පිරිසකි. “අපි ගැන” යයි අක්ෂය වෙබ් අඩවියේ ලියා ඇති හැඳින්වීමේ මෙසේ සටහන් කර තිබේ: “සමාජවාදී කඳවුර බිඳ වැටීමේ සිට ගෙවුනු දශක දෙක (හමාර) එක්තරා අර්ථයකින් මානව සංහතියේ නව යුගයක් ලෙස සැලකිය හැක”.
“සමාජ න්‍යායන්” සමාජ කන්ඩායම්වල අරගලවලට සමගාමී කිරීමේ නමින්, ලංකාවේ හා ජාත්‍යන්තරව පශ්චාත් නූතනවාදීන් හා පශ්චාත්-මාක්ස්වාදීන් විසින් මාක්ස්වාදයටත් එහි අද්‍යතන වර්ධනය නියෝජනය කරන ට්රොට්ස්කිවාදයටත් එරෙහිව ඉදිරිපත් කෙරෙන කුනුකන්දල් පල කිරීම අක්ෂය වෙබ් අඩවිය සිය මූලික කාර්ය කරගෙන ඇත. අගෝස්තු 21දා පැවති ඉහත කී සංවාදය මෙම වැඩකටයුතුවල දිගුවකි.
සංවාදයට සම්බන්ධවී සිටියේ පහත නම් සඳහන් පුද්ගලයන් ය: පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරුවෙකු හා දැන් කම්කරුවන්ගේ ජාත්‍යන්තරය සඳහා කමිටුව (CWI) නම්වූ සංවිධානයේ ඉත්තෙකු ලෙස ද ක්‍රියා කරන නජිත් ඉන්දික; පශ්චාත්-මාක්ස්වාදී හා පශ්චාත්-නූතනවාදී ගොහොරුවක් වන ප්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර; කලකට පෙර ට්‍රොට්ස්කිවාදය නියෝජනය කරනවා යැයි කියාගනිමින් ට්‍රොට්ස්කිවාදී සංකල්ප විකෘති කිරීමේ හා කම්කරු පන්තියට උගුල් ඇටවීමේ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන ටී. අන්ද්‍රාදි හා මහාචාර්ය සුමනසිරි ලියනගේ.
දේශපාලන වසයෙන් ඔවුන් එකට බැඳ ඇත්තේ ට්‍රොට්ස්කිවාදය ගැන පවත්නා විරුද්ධත්වයෙනි. මෙම සංවිධාන හා පුද්ගලයන් කම්කරුවන්ට නව උගුලක් ඇටවීම සඳහා ග්‍රීසියේ සිරිසා බඳු වාම වෙස්ගත් ධනපති පෙරමුනක් ලංකාව තුල ද ඇටවීමට ඒ හෝ මේ ආකාරයෙන් වලිකන්නන් ය.
ට්‍රොට්ස්කිවාදයේ සාරය වන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය සඳහා අද දින අරගලය ලෝකයේ නො පවතින්නාක් මෙන් කිසිම කථිකයෙක් එම අරගලය ගෙනයන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි සමාජවාදී සමානතා පක්ෂ ගැන කෙලින් සඳහන් නොකලේ, එම සංවිධාන කෙරෙහි ඔවුන්ට පවතින වෛරය ද ප්‍රකාශයට පත් කරමිනි. ට්‍රොට්ස්කිගේ ඇතැම් සංකල්ප කපා කොටා, තමන් ධනවාදය සඳහා කරගෙන යන දරදිය ඇදීම යුක්ති සහගත කිරීමේ හා ට්‍රොට්ස්කි අතීතයට අයත් පුද්ගලයෙක් ලෙස හුවා දැක්වීමේ තුච්ඡ උත්සාහයක් රැස්වීම තුල පැවතුනි.
ට්‍රොට්ස්කිවාදයට පහරදීම හා එය විකෘත කිරීම අද දින ජාත්‍යන්තරව ම සිදුවේ. එහි නිශ්චිත දේශපාලන අරමුන නම්, විප්ලවවාදී පන්ති අරගලවල උද්ගමනයේ කාල පරිච්ඡේදයක් ඇරඹීමේ තතු තුල කම්කරුවන්, තරුනයන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන් ට්‍රොට්ස්කිවාදය වෙත ආකර්ෂනය වීම වැලැක්වීම යි.
ට්‍රොට්ස්කිවාදය කුමක්දැයි නොදන්නා මුග්ධත්වය ද කලතා ගනිමින් වාචාල කතා ඇදබෑ අක්ෂය සාමූහිකයේ නායකයෙකු වන නජිත් ඉන්දික ඉදිරිපත් කල තර්කය මෙසේ ය: වර්තමාන ට්‍රොට්ස්කිවාදීන්, “ට්‍රොට්ස්කි සමකාලීනත්වයත් එක්ක පොර බැදූ ... සමකාලීන දේශපාලනය අවබෝධ කරගෙන, සමකාලීන සාකච්ඡා මාදිලිවලට ඇතුලත් වෙමින්, ඒ ගැන හිතමින් විප්ලවයෙන් පසු අලුත් විදියට හිතපු මිනිහෙක් බව අමතක කර ඇත”.
ඉන්දික ඉහත ප්‍රකාශවලින් කියන්නේ මෙය යි: කල යුත්තේ, ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලය අත්හැර “සමකාලීනත්වය සමග පොරබැදීමේ” නමින් තමන් සමග “සංවාදවලට එලැඹ”, “අලුත්විදිහට හිතීම” හා ක්‍රියාකිරීම අරඹනු! ඔහු යෝජනා කරන අලුත් විධියට හිතීම හා ක්‍රියා කිරීම යනු ඔවුන් අටවන වාම පෙරමුනකට රොදබැඳ ගැනීම යි.
ට්‍රොට්ස්කි හුදු “සමකාලීනත්වයක්” සමග පොරබදමින් සිටි පුද්ගලයෙක් නොවේ. මෙම අද්විතීය මාක්ස්වාදියාගේ විධික්රමය, ඉන්දික ඇතුලු කල්ලියේ අනුභූතිවාදී විධික්රමයට හාත්පසින් ම වෙනස් ඓතිහාසික භෞතිකවාදී විධික්රමය යි. එම ප්රවිෂ්ටයෙන් ඔහු වර්ධනය වන යථාර්තය ඥානනය කරමින් මාක්ස්වාදී න්‍යාය හා ක්‍රියාමාර්ගය සංවර්ධනය කලේ ය. ඔහු නිකම් සංවාදවල ගැලතුනා නොව, මාක්ස්වාදයට එරෙහි අවස්ථාවාදයේ සෑම ප්රකාශයකටම විරුද්ධව සටන් වැදුනේ ය. ට්‍රොට්ස්කි නොනවතින විප්ලවයේ න්‍යාය හා ක්‍රියාමාර්ගය වර්ධනය කලේත්, 1917 රුසියානු විප්ලවයට නායකත්වය දුන්නේත්, පසුව ස්ටැලින්වාදී නිලධරයේ නැගීමට හා එහි තනි රටේ සමාජවාදය පිලිබඳ ප්රතිගාමී න්‍යායට එරෙහිව සටන් කලේත්, හතරවන ජාත්‍යන්තරය ඇරඹුවේත් එම ප්රවිෂ්ටය මත ය.
නජිත් ඉන්දික කතාව පටන් ගත්තේ සමාජවාදී රාජ්‍යයන් ගොඩ නැගීම අභව්‍ය හා මනෝරාජික බවට කෙරන ප්රතිගාමී ප්රචාරයේ යෙදෙන්නෙකු ලෙස ය. විසිවැනි සියවසේ “රොමෑන්තික අදහස මත ගොඩ නැගූ රාජ්‍ය පද්ධතිය බිඳ වැටී අවුරුදු තිහක් පමන ගත වී ඇති බව” ඔහු ප්‍රකාශ කලේ ය. “රොමෑන්තික අදහස මත ගොඩනැගුනු රාජ්‍ය” ලෙස ඔහු නම් කරන්නේ සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපීය රටවල් ය. සෝවියට් සංගමය පිහිටුවූයේ 1917 රුසියාවේ සමාජවාදී විප්ලවය මත ය. නැගෙනහිර යුරෝපීය රටවල්, සෝවියට් නිලධරය මැදිහත්වී ඇති කල විකෘත කම්කරු රාජ්‍යයන් ය. කෙසේවෙතත්, ඉන්දිකට මේ වෙනස්කම් අදාල නැත. ඔහුට අවශ්‍ය සමාජවාදය බිඳවැටී ඇත යන ප්රතිගාමී බොරුව තොරොම්බල් කිරීම ය.
ටී. අන්ද්‍රාදි හතර වන ජාත්‍යන්තරයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කරමින් එතුල පැන නැගි පැබ්ලෝවාදය වැලඳ ගත්තෙකි. ඔහු 1970 ගනන්වලදී හතරවන ජාත්‍යන්තරය විනාශවී ඇතැයි ප්‍රකාශ නිකුත් කලේ ය.
රැස්වීම තුල අන්ද්‍රාදි නොවතින විප්ලවය ගැනත් ලෝක විප්ලවය හා ස්ටැලින්වාදය ගැනත් ට්‍රොට්ස්කිගේ සංකල්ප ගැන රූපික කතා කීපයක් ඇදබා ජාම බේරා ගැනීමට තැත් කලේ ය. ලියොන් ට්‍රොට්ස්කි සිය න්‍යායික හා දේශපාලන අරගලයේ මුදුන් මල්කඩ ලෙස 1938 ලෝක සමාජවාදයේ පක්ෂය ලෙස හතර වන ජාත්‍යන්තරය පිහිටුවීම ගැන ඔහු යාන්තමට සඳහන් කලේ, එය ඉතිහාසයේ සිදුවූ තවත් සාමාන්‍ය සිද්ධියක් ලෙස ය.
අන්ද්‍රාදිගේ වෙස් මුහුන ගැලවී ගියේ, සංවාදයට සහභාගිවූ අයෙක් 1994 හා 2015 පැවති ජනාධිපතිවරනවල දී ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් පෙරමුනෙන් තරග කල චන්ද්‍රිකා කුමාරතුංගට හා දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) මූලිකවී ඉදිරිපත් කල මෛත්‍රිපාල සිරිසේනට චන්දය දුන්නේ මන්දැයි විමසූ විට ය. ඔහු සිය ගඳගසන වාර්තාව දිග හැරියේ, 1994 දී හා 2015 දී ද තමන් කල ක්‍රියා “සංයුක්ත තත්වයන් යටතේ ගැනීමට සිදුවූ පියවර” බව කියා සිටිමිනි. අන්ද්‍රාදි තම අවස්ථාවාදී ක්‍රියාව යුක්ති සහගත කිරීමට එය ට්‍රොට්ස්කි ඉදිරිපත් කල එක්සත් පෙරමුනු උපාය හා සමාන කිරීමේ තුච්ඡ උත්සාහයක යෙදුනි.
ට්‍රොට්ස්කි එක්සත් පෙරමුන යෝජනා කලේ, විප්ලවාදී පක්ෂයේ ධජය අනෙකුත් පක්ෂ සමග කලවම් නොකර, පන්ති සතුරාට එරෙහි නිශ්චිත පන්ති ක්‍රියාවන් සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ගන්නා උපායික පියවරක් ලෙස ය. වාම කවවලට අවස්ථාවාදී උපදෙස් දෙන්නෙකු ලෙස සැරිසරන අන්ද්‍රාදි කලේ කම්කරු පන්තියට හා දුගීන්ට සතුරු ධනපති නායකයන් බලයට ගෙන ඒමට උද්ඝෝෂනය කිරීම හා ඡන්දය දීම ය. සිරිසේන බලයට ගෙන ඒමේ උද්ඝෝෂනයට එක්වෙමින් ඔහු පෙල ගැසුනේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයෙන් පිටුපස සූදානම් කල ආන්ඩු මාරුව සමග යි.
කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාමාර්ගයකට සටන් කිරීමේ ට්‍රොට්ස්කිවාදී පිලිවෙතට සැමදා විරුද්ධව සිටි අන්ද්‍රාදි, අනෙකුත් ව්‍යාජ වම්මුන් මෙන්ම, රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට ඇඟිල්ල දික් කර ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ කඳවුරට තමන්ගේ මාරුවීම ආවරනය කර ගත්තේ ය.
තමන්ගේම ඉතිහාසය ගැන කිසිලෙසකිනුත් වගකීමට බැඳී නැති තවත් පුද්ගලයෙකු වන මහාචාර්ය සුමනසිරි ලියනගේ ද දේශනයක් කලේ ය. ඔහු ලංකා සම සමාජ පක්ෂය (ලසසප) සභාග දේශපාලනයෙන් කුනුවන සමයේ ඉන් වැඩ පටන්ගෙන, 1970-1975 දක්වා සමසමාජ-ස්ටැලින්වාදී කොමියුනිස්ට් හා ශ්‍රීලනිප සභාග ආන්ඩුවේ ලැග සිට, තවත් අවස්ථාවාදී ගුබ්බෑයමක් ලෙස නව සම සමාජ පක්ෂය (නසසප) ඇටවීමට ද හවුල් විය. පසුව ඔහු 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු සමාජවාදය අහෝසි වී ඇතැයි මුදාහල ප්රතිගාමී ව්‍යාපාරයේ හවුල්කරුවෙක් වූයේය.
ලියනගේ කතාව මුලදීම සිය දේශපාලන තක්කඩිකම ප්‍රකට කලේ මෙසේ ය: “මම මේ කියන දේ මේ මොහොතේ මම නිවැරැදියි පිලිගන්නා දේයි. නමුත් එය වෙනස් වෙන්න පුලුවන් වෙනත් පැහැදිලි අදහස් ඉදිරිපත් වුනොත්.” මෙසේ ප්‍රකාශ කිරීම නිසා තමන් “දේශපාලන රස්තියාදුකාරයෙක්” ලෙස හඳුන්වන්නට ඉඩ ඇතැයි ඔහු සභාවට කීවේ ය. මෙය, දේශපාලන රස්තියාදුකමෙන් එහා යන, මූලධර්ම විරහිත, කම්කරුවන්ට හා තරුනයන්ට ලනු දෙන්නෙකු ලෙස ලියනගේ ඉටු කරන සාපරාධී දේශපාලන ක්‍රියා කලාපය පෙන්නුම් කරන ප්‍රකාශයකි.
ඔහු ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටැලින්, ප්රියෝබ්රෙසෙන්ස්කි ගැන ද, නොනවතින විප්ලවය, නව ආර්ථික ප්‍රතිපත්තිය හා ලෝක විප්ලවය පිලිබඳව ද එහෙන් මෙහෙන් වාචාල කතා ඇද බෑවේ ය. ඒ අතර, තමන්ගේ උත්සාහය “ලංකාව වැනි පසුගාමී ධනේශ්වර රටක වාම ආන්ඩුවක් බිහි කරගෙන අපේ පසුගාමී ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේ ද?” යන්නට පිලිතුරු සෙවීම බව ඔහු සඳහන් කලේ ය.
“පසුගාමී රටක වාම ආන්ඩුවක් පිටුවීම” ගැන ලියනගේ කරන ප්‍රකාශයෙන් ඔහුගේ ඉල්ලක්කය එලිදරවු වෙයි. එය නම්, ලංකාවේ කම්කරුවන් හා තරුනයන් ධනපති පන්තියට බිලිදීම සඳහා ග්‍රීසියේ සිරිසා බඳු පෙරමුනක් ඇටවීම යි. ඔහු ග්‍රීසියේ සිරිසා බලයට ඒමට පෙර ද බලයට ආ විගස ද එය වගවර්නනා කල පුද්ගලයෙකි. ඔහු සිරිසා බඳු, ස්පාඤ්ඤයේ ව්‍යාජ-වාම පොදෙමොස් සංවිධානය ඔජ වඩවන්නෙකි. ලියනගේ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනේ අංකුරයක් ලෙස බිහිවී ඇති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටා විවිධ අවස්ථාවාදී හා ධනපති කල්ලි එකතු කර ලංකාවේ එබඳු පෙරමුනක් ඇටවීමට තල්ලුව දෙන්නෙකි.
සිරිසා ආන්ඩුවේ අගමැති සිප්රාස් ඇතුලු නායකයන් අධිරාජ්‍යවාදයේ හා මූල්‍ය ප්රාග්ධනයේ ඒජන්තයන් ලෙස කම්කරුවන් හා තරුනයන් අතර එලිදරවු වී ඇති තතු තුල එම පෙරමුනේ ඔහුට විරුද්ධව “වාම-කේන්සියානු වෙනසක් වෙනුවෙන්” පෙනී සිටින “වාම කන්ඩායමක්” බිහිවී ඇතැයි ලියනගේ අක්ෂය සංවාදයේ සිය කතාවේ දී හුරේ දැමුවේ ය. මේ ඊනියා වාම කන්ඩායම ග්‍රීසිය තුල ක්‍රියා කරන්නේ සිප්රාස්ගේ ආන්ඩුවට එරෙහිව ඉදිරියට එන කම්කරුවන් සමාජවාදී වැඩපිලිවෙලක් මත බලමුලු ගැන්වීම වලක්වන තවත් උගුලක් ලෙස ය.
ඔහු වාම වෙස් ගන්වන කේන්සියානු ප්‍රතිපත්ති වනාහි දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියාවට දැමුනු රාජ්‍ය මැදිහත්වී ධනපති ආර්ථිකය හැසිරවීමේ ප්‍රතිපත්තිය යි. අධිරාජ්‍යවාදී මූල්‍ය ප්රාග්ධනය විසින් දැන් උසි ගන්වා ඇති නව ලිබරල්වාදී ප්‍රතිපත්ති නිසා තමන් මුහුන දෙන විනාශයට එරෙහිව කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල නැගෙන තතු යටතේ ධනපති බුද්ධිමතුන් කන්ඩායමක් එය වලක්වා ගැනීම සඳහා පලිප්පු දැමූ කේන්සියානු වැඩපිලිවෙලකට යලි මාරු වීම යෝජනා කරති. ව්‍යාජ වම්මු මෙම ප්රචාරයෙන් ආවේශ වී සමාජවාදී ක්‍රියාමාර්ගයට එරෙහිව එය තොරොම්බල් කරති. ලියනගේ ලංකාව තුල එහි එක් තොරොම්බල් කාරයෙකි.
ඊනියා “වාමගාමී” ආන්ඩුවක් බලයට ආව ද ධනේශ්වරයට සම්පුර්නයෙන් “ස්වීචය ඕෆ්” කර තැබීමට බැරි බව ද යම් ප්‍රමානයකට ඒ වෙනුවෙන් ස්වීචය “ඕන්” කර තැබිය යුතු බව ද ලියනගේ අවධාරනය කලේ ය. ඊට හේතුව, ඔහුට අනුව, “ධනපති ක්‍රමය මහ පුදුම ශක්තිමත් ක්‍රමයක්” වීම යි. “විශාල අර්බුදයන් තුල සැකසී ඉදිරියට යාමට ඊට හැකියාව තියනවා” යයි සහතිකවූ ලියනගේ, 2008 මූල්‍ය අර්බුදයෙන් ධනපති ක්‍රමය ගොඩ ඇවිත් තිබෙන බවට ක්ෂමාලාප කීවේ ය.
ලෙනින් රුසියාවේ 1920 ගනන් මුල නව ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමීමෙන් පෙන්නුම් කෙරුනේ ධනේශ්වරයට යම් පමනකින් ස්වීචය “ ඕන්” කර තැබිය යුතු බවය යි ලියනගේ ධනපතිවාදය වෙනුවෙන් කහින්නෙකු ලෙස කීවේය. ලෙනින් විශිෂ්ට සමාජවාදියෙකු ලෙස සීමිත, තාවකාලික ධනපති සම්බන්ධතා සමහර අංශ වෙනුවෙන් යෝජනා කලේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරමින් රුසියාව තුල ආර්ථික ගැටලු සමග පොරබැදීමේ කොටසක් ලෙස මිස ධනපති පන්තියට කොල එලිය දැමීම සඳහා නොවේ.
මෙම සංවාදය පැවැත්වීමේ අරමුන එනම්, ට්‍රොට්ස්කිවාදයට පහර දීම අමු අමුවේ වැමෑරුවේ විදර්ශන කන්නන්ගර නමැත්තා යි. කන්නන්ගර පටන් ගත්තේ ඔවුන් වැනි ප්රවනතාවන් ව්‍යාජ වම්මුන් ලෙස හැඳින්වීම --එනම් වාම වෙස් ගත් ධනේශ්වරයේ ඒජන්තයන් ලෙස හැඳින්වීම-- ගෞරවයක් ලෙස පිලිගන්නා බව විලිලජ්ජාවකින් තොරව ප්‍රකාශ කරමිනි.
ඔහු මෙසේ පැවසීය: “ට්‍රොට්ස්කි විසින් ලෝක විප්ලවකාරී චින්තන හා දේශපාලන ඉතිහාසයට කරපු අප්‍රතිහත මැදිහත්වීම .... නිසාම ඉතිහාසයේ සමාජවාදී විප්ලවය, සමාජවාදී කම්කරු අරගලය පරාජය වීමේ විත්තිය බවට ට්‍රොට්ස්කි පත්වීමට ඉඩක් නොතිබුනු නිසාම මේ මොහොතේදී ට්‍රොට්ස්කිගේ පැමිනීම, නැවත නිවැරැදිව විප්ලවය කිරීමට ට්‍රොට්ස්කි පැමිනීම තරම් භයානක කාරනයක් තවත් නෑ. ඒ නිසා ඒ අර්ථයෙන් අපි ට්‍රොට්ස්කිවාදී-විරෝධීන්”.
කන්නන්ගර ට්‍රොට්ස්කිවාදයේ සතුරෙකු වී සිටින්නේත් එය ගැන බය භීතිකාවට පත්ව සිටින්නේත් ඇයි? ඔහුගේ භාෂාවෙන්ම කියන්නේ නම් ට්‍රොට්ස්කි හා ට්‍රොට්ස්කිවාදයේ නිරවද්‍යතාව සනාථ වී ඇති නිසාත් නිවැරදිව විප්ලවය කිරීමට ට්‍රොට්ස්කිවාදීන් දැන් සම්ප්‍රාප්ත වී සිටින නිසාය. මෙම මධ්‍යම පන්තික කල්ලිවල භීතියට හේතු වී ඇත්තේ ඔවුන් දියවී ගියේ යැයි දිවුරා කී කම්කරු පන්තිය ජාත්‍යන්තරව අද අරගලයේ ක්ෂේත්රයට ඒම පිබඳව මෙන්ම, ට්‍රොට්ස්කිවාදීන්ගේ නායකත්වය ලැබ මෙම විප්ලවවාදී පන්තිය “නිවැරදිව” සමාජවාදී විප්ලවය සිද්ධ කිරීමෙන් තමන්ගේ වරප්‍රසාද හා කෑදර බලාපොරොත්තු ධනපති ක්‍රමය සමගම වැලලී යාම සිදු වනු ඇත යන්න ගැනයි.
තමන් නියෝජනය කරන පශ්චාත් මාක්ස්වාදයේ පැටිකිරිය ගැන කන්නන්ගර මෙසේ කීවේය: “පශ්චාත් මාක්ස්වාදය ඥාන මාර්ගයක් පමනක් නොව, එය 1930 ගනන්වල හා ඊට පෙර විවිධ ඥාන මාර්ග විසින් ඇති කර ගත් සම්ප්රදායයන් ග්‍රාම්ස්කි, අල්තුසර්, පොලොන්ටස්, ලක්ලාවූ, මූෆ්ගේ ගමන හා රැඩිකල්වාදී, ව්යුහවාදීන්ගේ ඥාන ගමන ඇතුලත් කරගන්නා” බව යි.
ග්‍රාම්ස්කි ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයෙකු වුවත් ස්ටැලින්වාදයට අනුගතව, පසුව මුසෝලිනීගේ සිපිරි ගෙය තුල කම්කරු පන්ති විප්ලවය කෙරෙහි අසාර දර්ශනයට ගමන් කල අයෙකි. කන්නන්ගර සඳහන් කරන අනෙකුන්ගෙන් ලුවී අල්තුසර් ප්රන්ස කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටියේ ස්ටැලින්වාදයේ සියලු ද්‍රෝහිකම්වලට පක්ෂපාතී වූවෙකි. ඔහු මාක්ස්වාදයට පහරදීම පෙරට ගෙන ගියේ පශ්චාත් මාක්ස්වාදය ඉදිරිපත් කරමිනි. නිකෝ පොලොන්ටාස්, අල්තුසර් සමග එකට ගියේ ය. ලක්ලාවූ හා මූෆ්, මාක්ස්වාදයට එරෙහි සතුරු න්‍යායන් ගෙතීම තව ඉදිරියට ගෙන ගියවුන් ය.
කන්නගර සිය දේහනය තුල ඇඹරුවේ මෙම පශ්චාත් නූතනවාදීන් හා පශ්චාත් මාකස්වාදීන්ගේ ප්‍රති-මාක්ස්වාදී සංකල්පයන් ය. ඒ අනුව, කම්කරු පන්තිය මේ යුගයේ ධනවාදය පෙරලා දැමීමේ හා සමාජවාදී විප්ලවය ඉටුකිරීමේ ප්‍රධාන විප්ලවවාදී බලවේගය ය යන්න ප්‍රතික්ෂේප කල ඔහු, 1917 රුසියානු විප්ලවයේදී කම්කරු පන්තිය ධනේශ්වර ප්රජාතන්ත්ර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කිරීමේ ඓතිහාසික සත්‍යය අඥෙයවාදියෙකු ලෙස ප්‍රතික්ෂේප කලේ එය “ඥාන මායවකි” යි ප්‍රකාශ කරමිනි.
ලෙනින් හා ට්‍රොට්ස්කි රුසියානු විප්ලවයට නායකත්වය දීමෙන් මාක්ස් අභියෝගයට ලක් කල බව කන්නන්ගර කල තවත් තකතීරු ප්‍රකාශයකි. ඉන් ඔහු අදහස් කලේ මාක්ස්ට අනුව සමාජවාදය කරා මාවත විවෘත වන්නේ ධනවාදය සංවර්ධනය වීමෙන් පසුව වුවත් රුසියාවේ ධනවාදය වර්ධනය වීමට පෙරම සමාජවාදී විප්ලවය සිදු කෙරුනු බවයි. මෙවැනි ආස්ථානයක් ඉදිරිපත් කල මෙන්ශෙවිකයන් ගැන ට්‍රොට්ස්කි සඳහන් කලේ, ඔවුන් “ග්‍රාම්‍ය මාක්ස්වාදීන්” බව යි. ඔවුන් මාක්ස්ගේ අපෝහක භෞතිකවාදයෙහි තාර්කික සාරය උකහා නොගත්තවුන් ය. ධනවාදයේ අපෝහකය ලෝක ආර්ථිකයක කොන්දේසි සකස් කිරීම තුල රුසියාවේ ධනවාදය වැඩී ඒමත් එය සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි සැකසූ සැටිත් ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. කෙසේවෙතත්, කන්නන්ගර මාක්ස්වාදයේ සතුරෙකි.
අක්ෂය සාමුහිකයේ සංවාදය තුල සමස්තයක් ලෙස වැගුරුනේ ප්‍රති-ට්‍රොට්ස්කිවාදය යි. සංවාදය වාර්තා කිරීමට ගිය සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන්, රැස්වීම තුල සිදුකල තුච්ඡ විකෘති කිරීම් හා ප්‍රහාර අභියෝගයට ලක්කල විට ඊට මුහුන දී ගත නොහැකිවූ කථිකයන් ඇඟ බේරා ගත්තේ, “ ඕවා ඔය සහෝදරවරුන්ගේ අදහස්. අපි ප්‍රකාශ කරන්නේ අපි දරන අදහස්” යනුවෙන් ප්‍රකාශ කරමිනි.
සසපට මෙම ව්‍යාජ වම්මුන් සමග සංවාදයක් නැත. සසප හා ඔවුන් අතර පොදු කිසිවක් ද නැත. කම්කරුවන්ගෙන් තරුනයන්ගෙන් හා බුද්ධිමතුන් ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම ධනපති ගැත්තන්ගේ මාක්ස්වාදයට එරෙහි ව්‍යාපාරය පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරන ලෙස යි. මාක්ස්වාදයට හා සමාජවාදයට ලැදි සියල්ලන් සිටිය යුතු ස්ථානය සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය යි.
Follow us on